8. 1. 3. 6.
ජීවක කොමාරහච්ච සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක අඹ උයනෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි කෝමාරහච්ච නම්වූ ජීවක (වෛද්‍යවර)යා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝමාරහච්ච නම්වූ ජීවක (වෛද්‍යවර)යා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයෙක් වේද?” (උපාසකයාගේ අඞ්ග කොපමණද?)
“ජීවකය, යම් දිනක පටන් බුදුන් සරණ ගියේද, ධර්මය සරණ ගියේද, සංඝයා සරණ ගියේද, ජීවකය, මෙපමණකින්ම උපාසක නම් වෙයි.”
“ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේද?”
“ජීවකය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, ජීවකය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.”
“ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා අන්‍යයාගේ හිත වැඩ පිණිස නොව තමාගේ හිත වැඩ පිණිස පිළිපන්නේ වේද?”
“ජීවකය, යම් දිනක පටන් උපාසකයා තමා ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්ත වූයේ වේද, අනෙකා ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තමා ශීල සම්පත්තියෙන් යුක්ත වූයේ වේද, අනෙකා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තමා ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වූයේ වේද, අනෙකා ත්‍යාග සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තමා භික්ෂූන් දැකීමට කැමති වේද, අනෙකා භික්ෂූන් දැකීමෙහි සමාදන් නොකරවාද, තමා සද්ධර්මය ඇසීමට කැමති වේද, අනෙකා සද්ධර්මය ඇසීමෙහි සමාදන් නොකරවාද, තමා ඇසූ ධර්මයන් දරා ගන්නා ස්වභාව ඇත්තේ වේද, අනෙකා ධර්මය දරා ගැනීමෙහි සමාදන් නොකරවාද, තමා දරාගත් ධර්මයන්ගේ අර්ථ විමසන්නේ වේද, අනෙකා අර්ථ විමසීමෙහි සමාදන් නොකරවාද, තමා අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නේ වේද, අනෙකා ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි සමාදන් නොකරවාද, ජීවකය, මෙපමණකින් උපාසකයා අනුන්ගේ හිත පිණිස නොව තමාගේ හිත පිණිස පිළිපන්නේ වෙයි.”
“ස්වාමීන් වහන්ස, කොපමණකින් වනාහි උපාසකයා අත්වැඩ පිණිස පිළිපන්නේත් වේද, පරවැඩ පිණිස පිළිපන්නේත් වේද,
“ජීවකය, යම් දිනක පටන් තමා විසින්ද, ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශ්‍රද්ධා සම්පත්තියෙහි යොදවාද, තෙමේ ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශීල සම්පත්තියෙහි යොදවාද, තෙමේ ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ත්‍යාග සම්පත්තියෙහි යොදවාද, තෙමේ භික්ෂූන් දැකීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද භික්ෂූන් දැකීමෙහි යොදවාද, තෙමේ බණ ඇසීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද බණ ඇසීමෙහි යොදවාද, ඇසූ බණ සිත තබා ගැනීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද ඇසූ බණ සිත තබා ගැනීමෙහි යොදවාද, තෙමේ සිත තබාගත් ධර්මයෙහි අර්ත්ථ පරීක්ෂා කිරීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද සිත තබාගත් ධර්මයෙහි අර්ත්ථ පරීක්ෂා කිරීම පිණිස යොදවාද, තෙමේ අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි (බණට අනුව පිළිපැදීමෙහි) යෙදුනේ වේද, අන්‍යයාද බණට අනුව පිළිපැදීමෙහි යොදවාද, ජීවකය, මෙපමණකින් උපාසකයා අත් වැඩ පිණිසත්, පර වැඩ පිණිසත් පිළිපන්නේ වෙයි.”
8. 1. 3. 7.
අට්ඨබල සූත්‍රය
සැවැත් නුවර නිදානයි.
“මහණෙනි, මේ (ලෝකයෙහි) බල අටෙක් වෙත්. කවර අටෙක්ද යත්? මහණෙනි, ළදරුවෝ හැඬීම බලයකොට වසන්නාහ. ස්ත්‍රීවරු ක්‍රෝධය බලයකොට වසන්නාහ. සොරු ආවුධ බලයකොට වසන්නාහ. රජවරු ඓශ්චර්‍ය්‍යය බලයකොට වසන්නාහ. අඥානයෝ උසස්ව ඝෝෂා කොට අවඥා කිරීම බලයකොට වසන්නාහ. පණ්ඩිතයෝ ඉවසීම හෝ යුතු අයුතු පරීක්ෂණය බලයකොට වසන්නාහ. ධර්ම ශාස්ත්‍රයන් උගත්තාහු (ඒ අනුව) නුවණින් මෙනෙහි කිරීම බලයකොට වසන්නාහ. නික්ලේශී උත්තමයෝද, පැවිදි උතුමෝද, ඉවසීම බලයකොට වසන්නාහ. මහණෙනි, මේ අට බල (ධර්ම) යෝ වෙත්.”