8. 1. 2. 9.
පහාරාද සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජානුවර නළෙරු නම් යක්‍ෂයා විසින් අධිගෘහිතවූ කොසඹ රුක් මුල වැඩ වාසය කරණ සේක. එකල්හි පහාරාද (නම්) අසුරෙන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකක්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ පහාරාද අසුරෙන්‍ද්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “පහාරාදය, අසුරයෝ වනාහි මහා සමුද්‍රයේ සිත් අළවත්ද?”
“ස්වාමීන් වහන්ස, අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අළවත්.”
“පහාරාදය, මහා සමුද්‍රයෙහි කෙතෙක් ආශ්චර්‍ය්‍ය අද්භූත කරුණු දැක දැක ඒ ජඅලවත්ද?
“ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණධර්ම අටක් දැක දැක ඒ අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්. කවර ගුණධර්ම අටක්ද යත්?:
1. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම ක්‍රමයෙන් පහත් වූයේය. ක්‍රමයෙන් ගැඹුරු වූයේය. ක්‍රමයෙන් (යටට) නැමී ගියේය. කෙලින්ම පිහිටි ප්‍රපාතයක් නොවේ. “ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රයෙහි ක්‍රමයෙන් පහත්විමය, ක්‍රමයෙන් ගැඹුරුවීමය, ක්‍රමයෙන් (යටට) නැමීමය, කෙලින්ම (පිහිටි) ප්‍රපාතයක් නොවිමය, යන මේ ගුණය ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ පළමුවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
2. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය ස්ථිර ස්වභාවයෙන් යුක්තවූවකි. වෙරළ නොයික්මවයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය ස්ථිර ස්වභාවයෙන් යුක්තවුවකි. වෙරළ නොයික්මවයි. යන මේ ගුණය ආශ්චර්‍ය්‍යවූ, අද්භූතවූ දෙවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
3. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ තුන් වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
4. “නැවතද ස්වාමීන් වහන්ස, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. ස්වාමීන් වහන්ස, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට (නාමයට) පැමිණෙත්, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ සිව්වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
5. “නැවතද ස්වාමීන් වහන්ස, ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්‍ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. ස්වාමීන් වහන්ස, ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්‍ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ පස්වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
6. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ සවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
7. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන මොහුයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන අනේක ප්‍රකාරවූ බොහෝ රත්න ඇත්තේයයි මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ සත්වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
8. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම මහත්වූ සත්න්‍වයන්ගේ ආවාසයක්ය. තිමිය, තිමිඞ්ගලය, තිමිරය, පිඞ්ගලය, අසුරය, නාගය, ගාන්‍ධර්වය, යන මේ එහි වසන මහා සත්න්‍වයෝයි. මහා සමුද්‍රයෙහි සියක් යොදුන් ශරීර ඇත්තාවුද, දෙසියයක් යොදුන් ශරීර ඇත්තාවුද, තුන් සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, හාර සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, පන්සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, සත්ත්‍වයෝ ඇත්තාහ.