8. 1. 2. 10.
උපොසථ සූත්රය
20. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්වාරාමයෙහි ප්රාසාදයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ පොහෝ කරණ දිනයක්වූ ඒ දිනයෙහි භික්ෂු සඞ්ඝයා විසින් පිරිවරනා ලද්දේ වැඩ හුන්නේ වෙයි. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාත්රිය ඉක්ම යන කල්හි, ප්රථම යාමය ඉක්ම ගිය කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීන් වහන්ස, රාත්රිය ඉක්ම යයි. ප්රථම යාමය ඉක්ම ගියේය. භික්ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.” එසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. දෙවනුවද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාත්රිය ඉක්ම යන කල්හි, මධ්යම යාමය ඉක්ම ගිය කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීන් වහන්ස, රාත්රිය ඉක්ම යයි. මධ්යම යාමය ඉක්ම ගියේය. භික්ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.” දෙවනුවද භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. තුන්වෙනුවද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාත්රිය ඉක්ම යන කල්හි, පශ්චිම යාමය ඉක්ම ගිය කල්හි, අරුණ නැගි කල්හි, (රෑ පහන්දොර) රාත්රි තොම සතුටු මුහුණක් ඇති කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීන් වහන්ස, රාත්රිය ඉක්ම යයි. අළුයම ඉක්ම ගියේය. අරුණ නැගුනේය. (රෑ පහන්දොර) රාත්රි තොම සතුටු මුහුණින් ඇතිවූවාය. භික්ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්යවතුන් වහන්ස, භික්ෂූන්ට ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.”
“ආනන්දය, පිරිස අපිරිසිදුය.” එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේට මෙසේ අදහස් වූයේය. “භාග්යවතුන් වහන්සේ, ‘ආනන්දය, පිරිස අපිරිසිදුය’ යි කවර පුද්ගලයෙකු සඳහා මෙසේ වදාළ සේක්ද?” ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ සියලුම භික්ෂු සඞ්ඝයා සිතින් සිත පිරිසිඳ මෙනෙහි කළ සේක.
ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ දුශ්ශීලවූ, ලාමක ස්වභාවය ඇත්තාවූ, අපවිත්ර කසල ගොඩක් වැනිවු පැවතුම් ඇති, සැඟවූ පාප කර්ම ඇති, අශ්රමණවූ, ශ්රමණයෙකු ලෙස හඟවන්නාවූ, ශ්රේෂ්ඨ හැසිරීම් නැත්තාවූ, ශ්රේෂ්ඨ හැසිරීම් ඇත්තෙකු ලෙස හඟවන්නාවූ, ඇතුළත (කෙළෙස්වලින්) කුණුවූ, කෙලෙස් වැගිරෙන්නාවූ, කෙලෙස් කසල හටගත්තාවු, පුද්ගලයා භික්ෂු සඞ්ඝයා මධ්යයෙහි හුන් බව දැක්කේය. දැක හුනස්නෙන් නැගිට, ඒ පුද්ගලයා වෙත පැමිණියේය. පැමිණ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. “ඇවැත්නි, නැගිටුව. භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්ෂූන් සමග විසීමක් නැත්තේය.”
එසේ කි කල්හි ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය. දෙවනුවද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. “ඇවැත්නි, නැගිටුව. භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්ෂූන් සමග විසීමක් නැත්තේය.” දෙවනුවද ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය. තෙවනුවද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. “ඇවැත්නි, නැගිටුව. භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්ෂූන් සමග විසීමක් නැත්තේය.” තෙවනුවද ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය.
එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයා අතින් (අල්වා) ගෙන බාහිර දොර කොටුවෙන් පිට කරවා, යතුරු දමා, භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.