8. 1. 2. 8.
ස්ත්රී බන්ධන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, ආකාර අටකින් පුරුෂ තෙම ස්ත්රිය බඳියි. කවර අටකින්ද යත්:
මහණෙනි, රූපයෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, සිනහවෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, කථාවෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, ගීතයෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, හැඬීමෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, ආකල්පයෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, වනභංගයෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, ස්ඵර්ශයෙන් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, මේ ආකාර අටින් පුරුෂ තෙම ස්ත්රිය බඳී. මහණෙනි, යම් කෙනෙක් (මේ අටින්) බැඳුනාහු ද, ස්ඵර්ශයෙන් බැඳුනාහු (වඩා) සුබද්ධයෝ ය.
8. 1. 2. 9.
පහාරාද සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වෙරඤ්ජානුවර නළෙරු නම් යක්ෂයා විසින් අධිගෘහිතවූ කොසඹ රුක් මුල වැඩ වාසය කරණ සේක. එකල්හි පහාරාද (නම්) අසුරෙන්ද්රයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකක්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ පහාරාද අසුරෙන්ද්රයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “පහාරාදය, අසුරයෝ වනාහි මහා සමුද්රයේ සිත් අළවත්ද?”
“ස්වාමීන් වහන්ස, අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අළවත්.”
“පහාරාදය, මහා සමුද්රයෙහි කෙතෙක් ආශ්චර්ය්ය අද්භූත කරුණු දැක දැක ඒ ජඅලවත්ද?
“ස්වාමීන් වහන්ස, මහා සමුද්රයෙහි ආශ්චර්ය්ය අද්භූතවූ ගුණධර්ම අටක් දැක දැක ඒ අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අලවත්. කවර ගුණධර්ම අටක්ද යත්?:
1. ස්වාමීන් වහන්ස, මහා සමුද්රය තෙම ක්රමයෙන් පහත් වූයේය. ක්රමයෙන් ගැඹුරු වූයේය. ක්රමයෙන් (යටට) නැමී ගියේය. කෙලින්ම පිහිටි ප්රපාතයක් නොවේ. “ස්වාමීන් වහන්ස, මහා සමුද්රයෙහි ක්රමයෙන් පහත්විමය, ක්රමයෙන් ගැඹුරුවීමය, ක්රමයෙන් (යටට) නැමීමය, කෙලින්ම (පිහිටි) ප්රපාතයක් නොවිමය, යන මේ ගුණය ආශ්චර්ය්ය, අද්භූතවූ පළමුවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අලවත්.
2. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්රය ස්ථිර ස්වභාවයෙන් යුක්තවූවකි. වෙරළ නොයික්මවයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්රය ස්ථිර ස්වභාවයෙන් යුක්තවුවකි. වෙරළ නොයික්මවයි. යන මේ ගුණය ආශ්චර්ය්යවූ, අද්භූතවූ දෙවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අලවත්.
3. “නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්රය මලකුණු සමග නොවසයි. මහා සමුද්රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්රය මලකුණු සමග නොවසයි. මහා සමුද්රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි, යන මේ ආශ්චර්ය්ය, අද්භූතවූ තුන් වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අලවත්.