8. 1. 2. 5.
මල සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, මේ මල හෙවත් කිලුටු අටක් වෙත්. කවර අටක්ද යත්?
මහණෙනි, මන්ත්රයෝ සජ්ඣායනා නොකිරීම මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, ගෙවල් උට්ඨාන වීර්ය්යයෙන් තොරවීම මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, කුසීත බව ශරීර වර්ණයට මල වේ. මහණෙනි, ප්රමාදය රක්ෂා කරන්නාට මල වේ. මහණෙනි, ස්ත්රියට දුෂ්චරිතය මල වේ. මහණෙනි, දෙන්නාහට මසුරුකම මල වේ. මහණෙනි, මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ මල වෙත්. මහණෙනි, ඊටත් වඩා මලයන්ට වඩා මල වූයේ අවිද්යාව පරම මලයයි. මහණෙනි, මේ වනාහි අෂ්ටවිධ මලයෝ වෙත්.
මන්ත්රයෝ සජ්ඣායනා නොකිරීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ගෘහයෝ උට්ඨාන වීර්ය්යයෙන් තොරවීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ශරීර වර්ණයට කුසීත බව මල වේ. ප්රමාදය ආරක්ෂා කරන්නාට මල වේ.
දුෂ්චරිතය ස්ත්රියට මල වේ. දායකයාහට මසුරුකම මල වේ. මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ මල වෙත්. ඊටත් වඩා මලයන්ට වඩා මල වූයේ අවිද්යාව පරම මලයයි.
8. 1. 2. 6.
දූතෙය්ය සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවූ භික්ෂු තෙම දූත මෙහෙවරෙහි යෑමට සුදුසුය. කවර අටකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අසන්නේ ද වෙයි. අසවන්නේ ද වෙයි. උගන්නේ ද වෙයි. දරන්නේ ද වෙයි. විදැනගන්නේ ද වෙයි. විදැනගන්වන්නේ ද වෙයි. සාහිත්යය අසාහිත්යය (හිත අහිත) දන්නෙ ද වෙයි. කෝලාහල කරුවෙක් ද නොවෙයි. මහණෙනි, මේ ගුණධර්ම අටකින් යුක්තවූ භික්ෂු තෙම දූත මෙහෙවරෙහි යෑමට සුදුසුය.
මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවු ශාරීපුත්ර තෙම දූත මෙහෙවරෙහි යෑමට සුදුසුය. කවර අටකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්ර තෙම අසන්නේ ද වෙයි. අසවන්නේ ද වෙයි. උගන්නේ ද වෙයි. දරන්නේ ද වෙයි. විදැනගන්නේ ද වෙයි. විදැනගන්වන්නේ ද වෙයි. සාහිත්යය අසාහිත්යය දන්නෙ ද වෙයි. කෝලාහල කරුවෙක් ද නොවෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග අටින් යුක්තවූ ශාරීපුත්ර තෙම දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුය.
යම් කිසිවෙක් උග්රවාදී පිරිසට පැමිණ ඒකාන්තයෙන් නොවෙවුලයි ද, වචන නොපිරිහෙලා ද, පණිවිඩය නොසඟවා ද,
නිසැකව කථා කරයි ද, ප්රශ්න කරන ලද්දේ නොකිපේ ද, එබඳු භික්ෂුවක් දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුයි.