8. 1. 2. 6.
දූතෙය්‍ය සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවූ භික්‍ෂු තෙම දූත මෙහෙවරෙහි යෑමට සුදුසුය. කවර අටකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අසන්නේ ද වෙයි. අසවන්නේ ද වෙයි. උගන්නේ ද වෙයි. දරන්නේ ද වෙයි. විදැනගන්නේ ද වෙයි. විදැනගන්වන්නේ ද වෙයි. සාහිත්‍යය අසාහිත්‍යය (හිත අහිත) දන්නෙ ද වෙයි. කෝලාහල කරුවෙක් ද නොවෙයි. මහණෙනි, මේ ගුණධර්ම අටකින් යුක්තවූ භික්‍ෂු තෙම දූත මෙහෙවරෙහි යෑමට සුදුසුය.
මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවු ශාරීපුත්‍ර තෙම දූත මෙහෙවරෙහි යෑමට සුදුසුය. කවර අටකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර තෙම අසන්නේ ද වෙයි. අසවන්නේ ද වෙයි. උගන්නේ ද වෙයි. දරන්නේ ද වෙයි. විදැනගන්නේ ද වෙයි. විදැනගන්වන්නේ ද වෙයි. සාහිත්‍යය අසාහිත්‍යය දන්නෙ ද වෙයි. කෝලාහල කරුවෙක් ද නොවෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග අටින් යුක්තවූ ශාරීපුත්‍ර තෙම දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුය.
යම් කිසිවෙක් උග්‍රවාදී පිරිසට පැමිණ ඒකාන්තයෙන් නොවෙවුලයි ද, වචන නොපිරිහෙලා ද, පණිවිඩය නොසඟවා ද,
නිසැකව කථා කරයි ද, ප්‍රශ්න කරන ලද්දේ නොකිපේ ද, එබඳු භික්‍ෂුවක් දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුයි.
8. 1. 2. 7.
පුරුෂ බන්‍ධන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, ආකාර අටකින් ස්ත්‍රී තොම පුරුෂයා බඳියි. කවර අටකින්ද යත්:
මහණෙනි, රූපයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, සිනහවෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, කථාවෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, ගීතයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, හැඬීමෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, ආකල්පයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, වනභංගයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, ස්ඵර්‍ශයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, මේ ආකාර අටින් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, යම් කෙනෙක් (මේ අටින්) බැඳුනාහු ද, ස්ඵර්‍ශයෙන් බැඳුනාහු (වඩා) සුබද්ධයෝ ය.
8. 1. 2. 8.
ස්ත්‍රී බන්‍ධන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, ආකාර අටකින් පුරුෂ තෙම ස්ත්‍රිය බඳියි. කවර අටකින්ද යත්:
මහණෙනි, රූපයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, සිනහවෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, කථාවෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ගීතයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, හැඬීමෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ආකල්පයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, වනභංගයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ස්ඵර්‍ශයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, මේ ආකාර අටින් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, යම් කෙනෙක් (මේ අටින්) බැඳුනාහු ද, ස්ඵර්‍ශයෙන් බැඳුනාහු (වඩා) සුබද්ධයෝ ය.