8. 1. 2. 4.
ඛලුඞ්ක සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, අශ්ව ඛලුඞ්කයන් අට දෙනෙක් ද අශ්ව දෝෂ අටක් ද පුරුෂ ඛලුඞ්කයන් අට දෙනෙක් ද පුරුෂ දෝෂ අටක් ද දේශනා කරන්නෙමි. එය අසවු, මනාකොට මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
1. මහණෙනි, අශ්ව ඛලුඞ්කයන් අටදෙනා සහ අශ්ව දෝෂ අට කවරේ ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියන ලද්දේ විදිනු ලබන්නේ සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ පස්සට පසුබසී. පිටුපසින් රථය පෙරලයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි පළමුවන අශ්ව දෝෂයයි.
2. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ පසු පා දෙක ඔසවා, රථයේ කුර්බරයෙහි හනියි. ත්‍රිදණ්ඩය බිඳියි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි දෙවැනි අශ්ව දෝෂයයි.
3. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ රථ වියගසට කලවා එසවී රථ වියගසම මඩිමින් සිටී. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි තෙවැනි අශ්ව දෝෂයයි.
4. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ නොමඟ යයි. උන්නත අවනත මගකින් රථය ගෙනයයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි සිවුවැනි අශ්ව දෝෂයයි.
5. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ ඉදිරි කය ලංඝනය කරයි. ඉදිරි පා දෙක ඔසවයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි පස්වැනි අශ්ව දෝෂයයි.
6. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ සාරථියා නොසලකා, කෙවිට නොසලකා, දත්වලින් කටකලියාව සපාගෙන කැමැතිසේ ගමන් කරයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි සවැනි අශ්ව දෝෂයයි.
7. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ ඉදිරියටත් නොයයි. පස්සටත් නොයයි. ඉඳුලක් මෙන් එහිම නොසෙල්වී සිටියි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි සත්වැනි අශ්ව දෝෂයයි.
8. මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරණු ලබන්නේ ඉදිරි පා දෙක හකුළුවා, පසු පා දෙකද හකුළුවා, එහිම පා සතර හකුළුවා හිඳියි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි අටවැනි අශ්ව දෝෂයයි. මහණෙනි, මොහු අශ්ව ඛලුඞ්කයෝ අට දෙනා සහ අශ්ව දෝශ අට වෙත්.
1. මහණෙනි, පුරුෂ ඛලුඞ්කයෝ අටදෙනා සහ පුරුෂ දෝෂ අට කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු භික්‍ෂුවකට ආපත්තියෙන් චෝදනා කරත්. ඒ භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සිහි නොකරමි’ යි සිහි නැතිව මෙන් ලිස්සා යයි. මහණෙනි, යම් සේ ඒ අශ්ව ඛලුඞ්කයා ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරනු ලබන්නේ පස්සට පසුබසී ද, පිටුපසින් රථය පෙරලයි ද, මහණෙනි, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පළමුවන පුරුෂ දෝෂයයි.
2. මහණෙනි, නැවතද මේ ශාසනයෙහි භික්‍ෂූහු භික්‍ෂුවකට ආපත්තියෙන් චෝදනා කරත්. ඒ භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ චෝදකයාහටම පෙරලා චෝදනා කරයි. ‘බාලවූ, අව්‍යක්තවු තොපගේ කීමෙන් කවර ප්‍රයෝජනද? තොපටද කිය යුතුය’ යි හඟිමි. මහණෙනි, යම් සේ ඒ අශ්ව ඛලුඞ්කයා ‘යව’යි කියනු ලබන්නේ, විදිනු ලබන්නේ, සාරථියා විසින් චෝදනා කරනු ලබන්නේ පසු පා දෙක ඔසවා, රථයේ කුර්බරයෙහි හනියි ද, ත්‍රිදණ්ඩය බිඳියි ද. මහණෙනි, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ දෙවැනි පුරුෂ දෝෂයයි.