8. 1. 2. 1.
1. වේරඤ්ජ සූත්‍රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජා නුවර, නලේරු නම් යක්‍ෂයා විසින් අධිගෘහිතවූ කොසඹ රුක් මුල වැඩ වාසය කරණ සේක. “එකල්හි වනාහි වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව අවසන්කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ වේරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
භවත් ගෞතමයාණනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ වයසින් ජීර්‍ණවූ, වෘද්‍ධවූ, මහලුවූ, දීර්‍ඝ කාලයක් ගතකළාවූ, වයසට පැමිණියාවූ බමුණන්ට නොවඳින්නේයයිද, (දුටු කළ) අසුනෙන් නොනැගිටින්නේයයිද, අසුනක හිඳින සේ ආරාධනා නොකරන්නේයයිද, යන මේ පුවත මා විසින් අසන ලදී. භවත් ගෞතමයාණනි, ඒ මේ පුවත එසේමය. ශ්‍රමණ භවත් ගෞතමයෝ වයසින් ජීර්‍ණවූ, වෘද්‍ධවූ, මහලුවූ, දීර්‍ඝ කාලයක් ගතකළාවූ, වයසට පැමිණියාවූ බමුණන්ට නොවඳින්නේයයිද, (දුටු කළ) අසුනෙන් නොනැගිටින්නේයයිද, අසුනක හිඳින සේ ආරාධනා නොකරන්නේයයිද, ඒ මේ පුවත හොබනේමය.
“බ්‍රාහ්මණය, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ලෝකයෙහි යම් කිසිවෙකුට මම වඳින්නෙමි, දැක හුනස්නෙන් නැගී සිටින්නෙමි, අසුනක හිඳින සේ ආරාධනා කරන්නෙමි, යන මේ කරුණ මම නොදක්නෙමි. “බ්‍රාහ්මණය, යමෙකුට වනාහි තථාගත තෙම වඳින්නේ හෝ වේද, දැක හුනස්නෙන් නැගී සිටින්නේ හෝ වේද, අසුනක හිඳිනා සේ ආරාධනා කරන්නේ හෝ වේද, ඔහුගේ හිස් මුදුන හෝ පැලෙන්නේය.
“භවත් ගෞතම තෙම, අරස රූපියෙකි. (සමගි රසයෙන් තොරවූවෙකි.)
“බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ යම් කිසිවෙක් ශ්‍රමණ භවත් ගෞතමයා අරසරූපයයි මට කින්නේ නම් එයට හේතු ඇත්තේමය. “බ්‍රාහ්මණය, යම් ඒ රූප රසය, ශබ්ද රසය, ගන්‍ධ රසය, රස රසය, ස්පර්‍ශ රසය යන (රසයෝ වෙත් නම්) තථාගතයන්ගේ ඒ රසයෝ ප්‍රහීන වූවාහු වෙත්. ආර්‍ය්‍යමාර්‍ග ශස්ත්‍රයෙන් මූලෝච්ඡින්න වූවාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්. “බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අරස රූපයයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම නිබ්භොගියෙක් (සමගි පරිභෝජනයෙන් තොරවූවෙකි)
බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, “නිබ්භොගියෙකැයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, යම් ඒ රූප (පරිභොගය, ශබ්ද පරිභොගය, ගන්‍ධ පරිභොගය, රස පරිභොගය, ස්පර්‍ශ පරිභොගය, යන (පරිභොගයෝ වෙත් නම්,) තථාගතයන්ගේ ඒ පරිභොගයෝ ප්‍රහීන වූවාහු වෙත්. ආර්‍ය්‍යමාර්‍ග ශස්ත්‍රයෙන් මූලෝච්ඡින්න වූවාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, නිබ්භෝගියෙකැයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම අකිරිය වාදියෙකි.”
බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අකිරිය වාදියායයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. “බ්‍රාහ්මණය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද නොකටයුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්‍මයන් නොකටයුතුයයි කියමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අකිරිය වාදියෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම උච්ඡෙද වාදියෙකි.
බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, උච්ඡේද වාදියෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, රාගයද, ද්වේෂයද, මෝහයද සම්පූර්‍ණයෙන් සිඳ දැමිය යුතුයයි කියමි. අනේකප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්‍මයන් සම්පූර්‍ණයෙන් සිඳ දැමිය යුතුයයි කියමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, උච්ඡෙද වාදියෙක් යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”