8. 1. 2. 2.
සීහසේනාපති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
එසමයෙහි වනාහි නිඝණ්ඨ ශ්‍රාවකවූ සීහ සේනාධිපතියා ඒ පිරිසෙහි හුන්නේ වෙයි. එකල්හි සීහ සේනාධිපතියාට මෙබඳු සිතක් ඇතිවූයේය. ‘නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධ වන සේක. ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. මම ඒ භාග්‍යවත්වූ අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි
ඉක්බිති සීහ සේනාධිපතියා නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, නිගන්ඨනාත පුත්‍රයාට මෙසේ සැළ කෙළේය: “ස්වාමීන් වහන්ස, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැකීම සඳහා පැමිණෙන්නට කැමැත්තෙමි” යි.
“සීහය කිමෙක්ද? ඔබ ක්‍රියාවාදී වූයේ අක්‍රියවාදීවූ ශ්‍රමණ භවත් ගෞතමයා දැකීම පිණිස එළඹෙන්නේද, සීහය, ශ්‍රමණ භවත් ගෞතමයා අක්‍රිය වාදියෙකි. අක්‍රිය පිණිස දහම් දෙසයි. ඒ ධර්‍මයෙන් ශ්‍රාවකයන් හික්මවයි.”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සීහ සේනාධිපතියාගේ ගමනෙහි කටයුතු සම්පාදනය සන්සිඳුනේය.
දෙවනුවද, ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
දෙවනුවද සීහ සේනාධිපතියාට මේ සිත වූයේය. ‘නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධ වන සේක. ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. මම ඒ භාග්‍යවත්වූ අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි