8. 1. 1. 9.
නන්ද බ්රහ්ම චරිය සූත්රය
[සැවැත් නුවර නිදානයි]
9. “මහණෙනි, නන්දයා පිළිබඳව යහපත්ව ප්රකාශ කරන්නෙක් (ඔහු) ඡාතිකුල පුත්රයෙක් යයි ප්රකාශ කරන්නේය. නන්දයා පිළිබඳව යහපත්ව ප්රකාශ කරන්නෙක් (ඔහු) කාය බලය ඇත්තෙක් යයි ප්රකාශ කරන්නේය. යහපත්ව ප්රකාශ කරන්නෙක් රූප සම්පත්තියෙන් ප්රසාද උපදවන්නෙක්යයි ප්රකාශ කරන්නේය, යහපත්ව ප්රකාශ කරන්නෙක් බලවත් රාග ඇත්තේයයි ප්රකාශ කරන්නේය,
“මහණෙනි, ඒ කූමකැයි හඟිවූ ද? නන්දයා චක්ෂුරාදී ඉන්ද්රියයන් පිළිබඳව වසන ලද දොර ඇත්තේ වෙයි. හෙවත් ඉන්ද්රිය සංවරශීලයෙන් යුක්ත වෙයි. භෝඡනයෙහි පමණ දන්නේය. නිදි වර්ඡනය කිරීමෙහි යෙදුනේය, සියලු ඉරියව්වෙහි සිහියෙන් යුක්තව ක්රියා කරන්නේය, යම්බදු මේ ගුණ දහම් කරණකොටගෙන, සම්පූර්ණවූ පිරිසිදුවූ ශාසන බ්රහ්මචරියාවෙහි හැසිරෙන්නට නන්දයා සමර්ත්ථවෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණදහම් අතුරෙන් මෙය නන්දයාගේ ඉන්ද්රිය සංවරය වෙයි. මහණෙනි, ඉදින් නන්දයාට පූර්ව දිශාව බැලියයුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා පූර්ව දිශාව බලයි-(කෙසේද?) ‘පූර්ව දිශාව බලන්නාවූ මට මෙපරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි’. “මහණෙනි ඉදින් නන්දයාට බටහිරදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා බටහිර දිග බලයි. ‘බටහිරදිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි’ උතුරුදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා උතුරුදිග බලයි. උතුරු දිශාව බලන්නා වූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි’. දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ “දකුණු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා දකුණු දිග බලයි. “දකුණු දිග බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ උඩ දිශාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා උඩ දිසාව බලයි. “උඩ දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ යට දිසාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා යට දිසාව බලයි. “යට දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්රඥාවෙන් යුක්ත වූයේ වෙයි’. “අනු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා අනු දිග බලයි. “මෙසේ අනු දිග බලන්නාවූ මට විෂම ලෝභ, දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුය’ යි බලයි. මෙපරිද්දෙන් එහි සම්යක් ප්රඥාවෙන් යෙදුනේ වෙයි. “මහණෙනි, මෙය නන්දයාගේ ඉන්ද්රිය සංවරය පිණිස වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්මයන් අතුරෙන් මෙය නන්දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්දයා නුවණින් සලකා ආහාරය වළඳයි. (කෙසේද?) ‘මම මේ ආහාරය ක්රීඩා පිණිස නොවළඳමි. මද වැඩීම පිණිස නොවළඳමි. අලඞ්කාරය පිණිස නොවළඳමි. සැරැසීම පිණිස නොවළඳමි. යම්තාක් මේ ශරීරයාගේ චිරස්ථිතිය වේද, ඒ පිණිස වළඳමි. අවිහිංසාවෙහි ඇලීම සඳහා වළඳමි. ශාසන බ්රහ්මචරියාවට අනුග්රහ පිණිස වළඳමි. මෙසේ මේ වැළඳීමෙන් පුරාණ බඩගිනි වේදනාව නසන්නෙමි. (පමණට වඩා වැළඳීමෙන්) අමුතු වේදනාවක්ද නූපදවන්නෙමි. මේ වැළදීම මාගේ ජීවිතය ගෙන යාම සඳහා යාත්රාවක්ද වන්නේය. නිවැරදිද වන්නේය. පාසු විහරණය පිණිසද වන්නේය,’ යනුය. මහණෙනි, මෙය නන්දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්මයන් අතුරෙන් මෙය නන්දයාගේ නිදි වර්ජිත කිරීම පිළිබඳව වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්දයා දහවල් කාලය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්රියෙහි ප්රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්රියෙහි මැදුම් යම (ශරීරයෙහි) දකුණු පාර්ශවය යට කොට, ඎජුවූ දකුණු පාදය මතුයෙහි වම් පාදය ස්වල්පයක් උඩට ඇද තබා, සිහියෙන් යුක්තව, සම්යක් ප්රඥාවෙන් යුක්තව, ‘අළුයම නැගී සිටිමි’ යන අධිෂ්ඨානය සහිතවූ සංඥාවෙන් සිංහසෙය්යාවෙන් සයනය කෙරෙයි. රාත්රියෙහි පැසුළුයම - (අළුයම) නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරන ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙය නන්දයාගේ නිදිවර්ජිත කිරීම පිළිබඳ වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්මයන් අතුරෙන් මෙය නන්දයාගේ සම්යක් සිහිය පිළිබඳ වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්දයාට තත්ත්වය අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ උපදිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ එළඹ සිටිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මෙය නන්දයාගේ සම්යක් සිහිය පිළබඳ වෙයි.
“මහණෙනි, නන්දයා ඉන්ද්රිය සංවරයෙන් යුක්තය. භෝජනයෙහි පමණ දන්නේය. නිදි දුරු කිරීමෙහි යෙදුනේය. සම්යක් සිහියෙන් යුක්තයයි, මෙයට වඩා කුමක්ද? යම් හෙයකින් නන්දයා සම්පූර්ණවූ, පිරිසිදුවූ, ශාසන බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙන්නට (සිතන්නේද?) එය හැකිවෙයි.”
8. 1. 1. 10.
කාරණ්ඩවනිධමන සූත්රය
10. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ චම්පා නුවර, ගර්ගරා නම් පොකුණු තෙර වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භික්ෂූහු, භික්ෂුවකට ඇවතින් චෝදනා කරත්. ඒ භික්ෂුව, භික්ෂූන් විසින් චෝදනා කරණු ලබන්නේ, වෙන වෙන කරුණු වලින් වරද වසා කථා කරත්. බාහිර කථා ගෙන හැර දක්වත්. කෝපයද, ද්වේෂයද, විරුද්ධ කරුණුද පහළ කරත්. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. “මහණෙනි, ඒ පුද්ගලයා පහ කරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහකරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහ කළ යුතුය. කිමෙක්ද? තොප විසින් අන්යවූ (බුද්ධ පුත්ර නුවූ) පුද්ගලයෙකු වෙහෙස කරණු ලබන්නේද?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්යවූ යහපත් භික්ෂූන්ගේ (ඉරියව් වැනි) වෙයි. යම් තාක් අන්ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක්) ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි. “යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, (එකල්හි) ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්යවූ යහපත් භික්ෂූන් දූෂ්ය නොකෙරේවා කියායි.