8. 1. 1. 10.
කාරණ්ඩවනිධමන සූත්රය
10. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ චම්පා නුවර, ගර්ගරා නම් පොකුණු තෙර වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භික්ෂූහු, භික්ෂුවකට ඇවතින් චෝදනා කරත්. ඒ භික්ෂුව, භික්ෂූන් විසින් චෝදනා කරණු ලබන්නේ, වෙන වෙන කරුණු වලින් වරද වසා කථා කරත්. බාහිර කථා ගෙන හැර දක්වත්. කෝපයද, ද්වේෂයද, විරුද්ධ කරුණුද පහළ කරත්. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. “මහණෙනි, ඒ පුද්ගලයා පහ කරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහකරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහ කළ යුතුය. කිමෙක්ද? තොප විසින් අන්යවූ (බුද්ධ පුත්ර නුවූ) පුද්ගලයෙකු වෙහෙස කරණු ලබන්නේද?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්යවූ යහපත් භික්ෂූන්ගේ (ඉරියව් වැනි) වෙයි. යම් තාක් අන්ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක්) ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි. “යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, (එකල්හි) ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්යවූ යහපත් භික්ෂූන් දූෂ්ය නොකෙරේවා කියායි.
“මහණෙනි, යම්සේ වනාහි සමෘද්ධවූ යව කෙතෙක් හි (හටගත්) යව බොල් කරන්නාවූ, කුණු කරන්නාවූ, යවදූෂී නම් රෝගය උපන්නේ නමුදු, (ඒ රෝගයට භාජනවූ) යව පැළයේ මුලද, නාලය හෙවත් කඳද, පත්රයද, (ඒ යව පැලය) පූදින තුරු අන්යවූ යහපත් යව පැල මෙන් දෘෂ්යමාන වන්නාහුද, ඒ යව පැලය පීදුනු තැන් පටන් එය යව බොල් කරන්නාවූ, යව කුණු කරන්නාවූ, යව දූෂී රෝගයට භාජනවූවකැයි දැන ගනිත්. ඒ (ගැන) එසේ දැන එය සහමුලින් උගුල්ලා යව කෙතින් පිටත දමත්. එයට හේතු කවරේද? අන්යවූ යහපත් යව දුෂ්ය නොවේවා කියායි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්යවූ යහපත් භික්ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්යවූ යහපත් භික්ෂූන් දූෂ්ය නොකෙරේවා කියායි.
“මහණෙනි, යම් සේ වනාහි මහත්වූ ධාන්ය රාශියක් පොළන කල්හි (හුලං ගස්වන කල්හි) එහි යම් කිසි දැඩිවූ, සාරවත්වූ (ධාන්යයෝ වෙත් නම්) ඒ ධාන්යයෝ එක් පසෙක රැස් වෙත්. යම් කිසි දුර්වලවූ, බොල්වූ (ධාන්යයෝ වෙත් නම්) ඒ ධාන්යයන් සුළඟින් එක් පසෙක විසුරුවත්. ධාන්ය හිමියෝ මුස්න (ඉදල) ගෙන ඒ බොල් වඩා ඈතට හැමද, (අතුගා) දමත්. එයට හේතු කවරේද? අන්යවූ යහපත් ධාන්ය (ඒ බොල්වලින්) දූෂ්ය නොවේවා කියායි.