8. 1. 1. 2.
ආදිබ්රහ්මචරියපඤ්ඤා සූත්රය
සැවැත් නුවර නිදානයි
මහණෙනි, මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, මේ කරුණු අට හේතු වෙත්. ඒ අට කෙසේද?
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු අන්ය භික්ෂුවක් හෝ ආශ්රය කොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලැජ්ජා භය එළඹ සිටියේ වේද, ප්රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, මහණෙනි, මෙය මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) පළමු හේතුවයි.
2. ඒ මහණතෙම ඒ ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු එක්තරා භික්ෂුවක් හෝ ආශ්රයකොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, හෙතෙම කලින් කල (උන් වහන්සේ වෙත එළඹ), ‘ස්වාමීන් වහන්ස. මෙය කෙසේද, මෙහි අර්ත්ථය කෙසේදැ’ යි පූර්වාපර සන්ධි විචාරයි. සැක තැන් විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්රකට අර්ත්ථය ප්රකාශ කෙරෙත්. ප්රකාශ නොකළ අර්ත්ථය ප්රකාශ කෙරෙත්. අනේක ප්රකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මෙය මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) දෙවෙනි හේතුවයි.
3. මහණතෙම ඒ ධර්මය අසා කාය ප්රකාශයෙන්ද, චිත්ත ප්රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්රකාශයෙන් (විදර්ශනා වීමට හේතු) සපයයි. මහණෙනි, මෙය මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) තුන්වෙනි හේතුවයි.
4. සිල්වතෙක් වේද, ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්පමාත්ර වු වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද, මහණෙනි, මෙය මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) හතරවෙනි හේතුවයි.
5. ධර්ම විනය උගතෙක් වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද, යම්කිසි ධර්මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව, යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්රහ්මචරියාව ප්රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වේද, ඉගෙනගත් ධර්මය සිත තබා ගත්තේ වේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වේද. පිළිවෙළ නොවරදවා සිතින් පරීක්ෂා කරණලද්දේ වේද, විදර්ශනා ප්රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, මෙය මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) පස්වැනි හේතුවයි.
6. අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්ය්ය ඇතිව වාසය කෙරේද, වීර්ය්යවන්තවූයේ දැඩිවූ පරාක්රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීර්ය්යයෙන් යුක්තවූයේ වේද,මහණෙනි, මෙය මාර්ග බ්රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) සවැනි හේතුවයි.