8. 1. 1. 3.
අප්පිය පසංසී සූත්‍රය
සැවැත් නුවර නිදානයි
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්‍ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි. කිනම් කරුණු අටකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා කරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්‍ෂූන්ට ගර්හා කරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාරයෙහි ගිජුවූයේ වේද, පාපයෙහි ලජ්ජා නැතිවූයේ වේද, පාපයෙහි භය නැතිවූයේ වේද, පවිටු අදහස් ඇත්තේද, මිසදිටු වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්‍ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි. කිනම් කරුණු අටකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා නොකරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්‍ෂූන්ට ගර්හා නොකරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජු නුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජු නුවූයේ වේද, පාපයෙහි ලජ්ජා ඇත්තේ වේද, පාපයෙහි භය ඇත්තේ වේද, අල්පේච්ඡ වූයේ වේද, සම්‍යක් දෘෂ්ටික වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.
8. 1. 1. 4.
4. ලාභකාම සූත්‍රය
[සාවත්ථිනිදානං]
4. “මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.
“කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජුවූයේ වේද, (ගර්හා ලැබීමට සුදුසුව සිටියේ නමුදු) අනුන් විසින් ගර්හා කරණු නොලැබේවායි වේද, කථා කළ යුතු කාලය නොදන්නේ වේද, (සිවු පසය පිළිගත යුතු) පමණ නොදන්නේ වේද, අපිරිසිදුවු කාය කර්‍මාදිය ඇත්තේ වේද, බොහෝකොට කථා කරන්නේ වේද, සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව බණන්නේ වේද,
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.
“කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජු නොවේද, සත්කාර ලාභයෙහි ගිජු නොවේද, ස්වකීය දොස් ඇසීමෙහි සතුටු වේද, කථා කිරීම් ආදියෙහි සුදුසු කාලය දනීද, සිවු පසයෙහි පමණ දන්නේ වේද, පිරිසිදුවු කාය කර්‍මාදිය ඇත්තේ වේද, දොඩමලු නොවේද, (වාචාල නොවේද), සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව නොවන්නේ වේද,
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.
8. 1. 1. 5.
5. සංඛිත්තලොකධම්ම සූත්‍රය
[සාවත්ථිනිදානං]
5. “මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහු බඳියි. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරෙළෙයි.)
“ඒ ලොක ධර්ම අට කෙසේද? ලාභයද, අලාභයද, අයසද, (පරිවාර සම්පත්තියෙන් තොර වීමද) යසසද, (පරිවාර සම්පත් ලැබීමද) නින්දා ලැබිමද, ප්‍රශංසා ලැබිමද, සැප ලැබීමද, දුක් ලැබීමද, යන අටය.