7. 2. 3. 9.
9. උපාලි ආයාචන සූත්රය
[සැවැත් නිදානයි]
30. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:
“මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාවූයේ, වෙන්වූයේ, අප්රමාදවූයේ, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, ආත්මභාවයෙහි දුරු කළ ආශා ඇත්තේ, වාසය කරන්නෙම් නම් ස්වාමිනි, භාග්යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් මනාකොට දේශනා කරණ සේක්වා.
“උපාලීනි, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මේ ධර්මයෝ ඒකාන්තයෙන් කළකිරීම පිණිස, රාග විරාගය (ඇල්ම නැතිකිරීම පිණිස), නිරෝධය (සිත නොසිටීම) පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස, නොපවතියි. උපාලීනි, මේ ධර්මය නොවේය, මේ විනය නොවේය, මේ ශාස්තෘ ශාසනය නොවේයයි යන කරුණු ඒකාන්තයෙන් දැන ගනුව. උපාලීනි, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මේ ධර්මයෝ ඒකාන්තයෙන් කළකිරීම පිණිස, රාග විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස, පවතියි. උපාලීනි, මේ ධර්මය වෙයි, මේ විනය වෙයි, මේ ශාස්තෘ ශාසනය වෙයි, යන කරුණු ඒකාන්තයෙන් දරව.”
7. 2. 3. 10.
10. අධිකරණ සමථ සූත්රය
[සැවැත් නිදානයි]
31. “මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස, සංසිඳීම පිණිස, මේ අධිකරණ සමථ ධර්මයෝ සතක් වෙති. කවර සතක්ද යත්:
සම්මුඛා විනය දිය යුතුය. සති විනය දිය යුතුය. අමූළ්හ විනය දිය යුතුය. පටිඤ්ඤාත කරණ දිය යුතුය. යෙභුය්යසිකා දිය යුතුය. තස්සපාපිය්යසිකා දිය යුතුය. තිණවත්ථාරකය දිය යුතුය.
මහණෙනි, මේ සප්ත අධිකරණ සමථ ධර්මයෝ උපනුපන් අධිකරණ ධර්මයන්ගේ සංසිඳීම පිණිස වෙත්.”
තුන්වන විනය වර්ගය නිමි.
එහි උද්දානය:
විනයධර සූත්ර සතරක් ද විනයධරශෝභන සූත්ර සතරක් ද උපාලි සූත්රය සහ දසවැනි අධිකරණසමථ සූත්රය ද (යන මේ සූත්ර දසය) තෙවැනි වගෙහි වෙති.