7. 2. 3. 10.
10. අධිකරණ සමථ සූත්‍රය
[සැවැත් නිදානයි]
31. “මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස, සංසිඳීම පිණිස, මේ අධිකරණ සමථ ධර්‍මයෝ සතක් වෙති. කවර සතක්ද යත්:
සම්මුඛා විනය දිය යුතුය. සති විනය දිය යුතුය. අමූළ්හ විනය දිය යුතුය. පටිඤ්ඤාත කරණ දිය යුතුය. යෙභුය්යසිකා දිය යුතුය. තස්සපාපිය්යසිකා දිය යුතුය. තිණවත්‍ථාරකය දිය යුතුය.
මහණෙනි, මේ සප්ත අධිකරණ සමථ ධර්‍මයෝ උපනුපන් අධිකරණ ධර්‍මයන්ගේ සංසිඳීම පිණිස වෙත්.”
තුන්වන විනය වර්‍ගය නිමි.
එහි උද්දානය:
විනයධර සූත්‍ර සතරක් ද විනයධරශෝභන සූත්‍ර සතරක් ද උපාලි සූත්‍රය සහ දසවැනි අධිකරණසමථ සූත්‍රය ද (යන මේ සූත්‍ර දසය) තෙවැනි වගෙහි වෙති.
4. සමණ වර්‍ගය
7. 2. 4. 1.
1. භික්ඛුකරණධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
32. “මහණෙනි, ධර්‍ම සතක් බිඳුන බැවින් භික්‍ෂුව වෙයි. කවර සතක්ද යත්:
සක්කාය දෘෂ්ටිය බිඳුණේ වෙයි. විචිකිච්ඡාව බිඳුණේ වෙයි. සීලබ්බත පරාමාසය බිඳුණේ වෙයි. රාගය බිඳුණේ වෙයි. දෝසය බිඳුණේ වෙයි. මෝහය බිඳුණේ වෙයි. මානය බිඳුණේ වෙයි.
මහණෙනි, මේ ධර්ම සත බිඳුන බැවින් භික්‍ෂුව වෙයි.
7. 2. 4. 2.
2. සමණ කරණ ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
33. “මහණෙනි, ධර්ම සතක් සංසිඳුන බැවින් ශ්‍රමණ වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් සංසිඳුන බැවින් ශ්‍රමණ වෙයි.
7. 2. 4. 3.
3. බ්‍රාහ්මණ ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
34. “මහණෙනි, ධර්ම සතක් යටකළ බැවින් බ්‍රාහ්මණ වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් යටකළ බැවින් බ්‍රාහ්මණ වෙයි.
7. 2. 4. 4.
4. සොත්‍ථිය ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
35. “මහණෙනි, ධර්ම සතක් ඉවත්කළ බැවින් යහපත්වූයේ වෙයි. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් ඉවත්කළ බැවින් යහපත්වූයේ වෙයි.
7. 2. 4. 5.
5. නහාතක ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
36. “මහණෙනි, ධර්ම සතක් නෑ බැවින්, (පිරිසිදු කළ බැවින්) නහාතක නම් වේ. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් නෑ බැවින්, (පිරිසිදු කළ බැවින්) නහාතක නම් වේ.
7. 2. 4. 6.
6. වෙදගූ ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
37. “මහණෙනි, ධර්ම සතක් දන්නා ලද බැවින් වේද ගූ නම් වේ. කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි. මහණෙනි, ධර්ම සතක් දන්නා ලද බැවින් වේද ගූ නම් වේ.