7. 2. 1. 6.
[කිම්බිල සූත්රය]
6. “මේ සූත්රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කිම්බිලා නගරය සමීපයෙහිවූ වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
“ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය විරස්ථායී නොවේද? හේතු කවරේද?”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි භික්ෂූහුද, භික්ෂුණීහුද, උපාසකවරුද, උපාසිකාවරුද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, ධර්මයෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, සඞ්ඝයා කෙරෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, ශික්ෂාවෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, සමාධියෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, අප්රමාදයෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, පිළිසඳරෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද,
කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය චිරස්ථායි නොවේද, මේ එයට හේතුවයි. මේ එයට ප්රත්යයයි.”
“ස්වාමිනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය චිරස්ථායී වේද, එයට හේතු කවරේද? එයට ප්රත්යය කවරේද?
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මේ ශාසනයෙහි භික්ෂූහුද, භික්ෂුණිහුද, උපාසකවරුද, උපාසිකාවරුද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, ධර්මයෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, සඞ්ඝයා කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, සමාධිය කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, අප්රමාදයෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, පිළිසඳරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද,
කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු යම් හෙයකින් සද්ධර්මය චිරස්ථායි වේද, මේ එයට හේතුවයි. මේ එයට ප්රත්යයයි.”
7. 2. 1. 7.
[සත්තධම්ම සූත්රය]
[සැවැත් නිදානයි]
7. “මහණෙනි, කරුණු සතකින් යුක්තවු භික්ෂුව කල් නොයවාම ආශ්රවයන් ක්ෂය වූයේ, අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ යහපත් ඥානයෙන් දැන ප්රත්යක්ෂනොට වාසය කරන්නේය. කවර කරුණු සතකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්රුත වේද, විවේකයෙන් යුක්ත වේද, පටන් ගන්නා ලද වීර්ය්ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, ප්රඥා ඇත්තේ වේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවු භික්ෂුව කල් නොයවාම ආශ්රවයන් ක්ෂය වූයේ, අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ යහපත් ඥානයෙන් දැන ප්රත්යක්ෂනොට වාසය කරන්නේය.
7. 1. 2. 8.
[පචලායන සූත්රය]
[සැවැත් නිදානයි]
8. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භගුරට සුංසුමාර නම් පර්වතය අසල මිගදාය නම්වූ භෙස කලාවනයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්රාමයෙහි නිදිබරව වැඩ සිටියේ වෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මනුෂ්යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්වතය ආසන්නයෙහි මිගදාය නම්වූ භෙස කලාවනයෙහි අන්තර්ධානවූයේ, මගධරට කල්ලවාලමුත්ත ග්රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන ස්ථවිරයන් ඉදිරියෙහි පහළවිය. භාග්යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ සිට වනාහි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.