7. 2. 1. 7.
[සත්තධම්ම සූත්‍රය]
[සැවැත් නිදානයි]
7. “මහණෙනි, කරුණු සතකින් යුක්තවු භික්‍ෂුව කල් නොයවාම ආශ්‍රවයන් ක්‍ෂය වූයේ, අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ යහපත් ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂනොට වාසය කරන්නේය. කවර කරුණු සතකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, විවේකයෙන් යුක්ත වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවු භික්‍ෂුව කල් නොයවාම ආශ්‍රවයන් ක්‍ෂය වූයේ, අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ යහපත් ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂනොට වාසය කරන්නේය.
7. 1. 2. 8.
[පචලායන සූත්‍රය]
[සැවැත් නිදානයි]
8. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර නම් පර්‍වතය අසල මිගදාය නම්වූ භෙස කලාවනයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයෙහි මිගදාය නම්වූ භෙස කලාවනයෙහි අන්තර්ධානවූයේ, මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන ස්ථවිරයන් ඉදිරියෙහි පහළවිය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ සිට වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.
“මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද?” - “ස්වාමීනි, එසේය.”
(1) “එසේ නම් මොග්ගල්ලානය, යම් සංඥාවක් ඇතිව වාසය කරන්නාවු ඔබ මැලි ගතියට බැස ගන්නෙහිද, ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුල වශයෙන් මෙනෙහි නොකරව. යම් සේ මෙසේ වාසය කරණ ඔබට මැලි ගතිය පහවන්නේය යන කරුණු පවතී.
(2) මෙසේ වාසය කරණ ඔබට ඉදින් ඒ මැලි ගතිය පහනොවන්නේ නම්, එබැවින් අසන ලද ධර්‍මයක් සිතින් නැවත කල්පනා කරව. නැවත සිහි කරව. සිතින් නැවත විමසව. සිත මෙහෙයවා බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
(3) මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එබැවින් ඔබ යම් සේ අසන ලද යම් සේ පිරිවහන ලද ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරන්නෙහිය. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
(4) “මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, මොග්ගල්ලානය, එබැවින් ඔබ දෙකන් සිදුරු යා කරන්නෙහිය. අතින් ශරීරය පිරිමදින්නෙහිය. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
(5) “මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ අස්නෙන් නැගිට ඇස් තෙමා දිශාවන් බලව. නැකැත් තරු හා තරු රූප බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
(6) “මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ ආලෝක සංඥාව සිහි කරව. දහවලය යන සංඥාව සිතින් ගනුව. ‘දවාල යම් සේද, රාත්‍රියත් එසේය. රාත්‍රිය යම් සේද, දවාලත් එසේය’ යි මෙසේ විවෘතවූ වට නොකළ සිතින් ප්‍රභා සහිත සිත වඩව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
(7) “මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එතැන් පටන් ඔබ ඉදිරිය, පසුව යන හැඟීම ඇත්තේ, අභ්‍යන්තර ගත ඉන්‍ද්‍රියයන්ගෙන් විවේකවූ සිතින් ඒ සක්මනට බසුව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ නිදි මැලි ගතිය ඉදින් දුරු නොවේද, ඉක්බිති මොග්ගල්ලානය, ඔබ පයින් පය එකට තබා සීහ සෙය්‍යාව කරව. සිහි ඇත්තේ, මනා දැනීම් ඇත්තේ, උත්‍ථාන (නැගිටීමේ) සංඥාව මෙනෙහි කොට මොග්ගල්ලානය, පිබිදියාවූ ඔබ නිද්‍රා සුඛය, ස්පර්‍ශ සුඛය, මැලි බවෙහි සුඛය යන මෙහි නොයෙදුණේ වාසය කරන්නෙමියි වහාම නැගිටිය යුතුය. මෙසේ වනාහි ඔබ හික්මිය යුතුය.