7. 2. 1. 3.
3. තිස්ස බ්‍රහ්ම සූත්‍රය
56. “මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ, ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් වනාහි දේවතාවෝ දෙදෙනෙක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි දැකුම් කලු පැහැයෙන් මුළු ගිජුකුළු පෙදෙස බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමුණුනාහ. පැමිණ එකත්පසෙක සිටියාවු එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය.
“ස්වාමිනි, මේ භික්‍ෂුණීහු මිදුණාහු වෙති.” (යනුවෙනි) අනික් දේවතාවා, “ස්වාමිනි, මේ භික්‍ෂුණීහු අනුපාදිශෙෂ වූවාහු මනාකොට මිදුණාහු වෙති.” යි මෙසේ සැළ කළහ. ශාස්තෲන් වහන්සේ දේවතාවන්ගේ වචනයට එකඟවූ සේක. ඉක්බිති ඒ දේවතාවෝ ශාස්තෲන් වහන්සේ එකඟවූ සේකැයි භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන් වූහ.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි දේවතාවෝ දෙදෙනෙක් මනහර රාත්‍රියෙහි පැහැපත් වර්‍ණයෙන් මුළු ගිජුකුළු පෙදෙස ආලෝකකොට මා යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියහ. මහණෙනි, එකත්පසෙක සිටියාවූ එක් දේවතාවෙක් මට මෙසේ සැළ කළේය.
“ස්වාමිනි, මේ භික්‍ෂුණීහු මිදුනාහුය.” අනික් දේවතාවා මට මෙසේ සැළ කළේය. “ස්වාමිනි, මේ භික්‍ෂුණීහු අනුපාදිශෙෂයහ. මනාකොට මිදුණාහ.” මහණෙනි, ඒ දේවතාවෝ මෙය මට සැළ කළහ. මෙය සැළ කොට මට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එතැන්හි අතුරුදහන්වූහ.
එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වැඩ සිටියේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය.
‘සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, කවර නම් දෙවියන්ට මෙබඳු ඥානයක් වේද?
එකල්හි වනාහි තිස්ස නම් භික්‍ෂුව ලඟදී කළුරිය කළේ එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ වෙයි. එහිද තිස්ස බ්‍රහ්ම තෙමේ මහර්ධි ඇත්තෙක, මහානුභාව ඇත්තෙකැයි ඔහු ගැන දනිත්.”
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම යම්සේ වනාහි යම්සේ වනාහි හකුළුවන ලද අතක් දිගු කෙරේද, දිගු කරණ ලද අතක් හකුළුවාද, එපරිද්දෙන් ගිජුකුළු පව්වෙහි අතුරුදහන්වූයේ, ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ විය. තිස්ස බ්‍රහ්ම තෙම, එන්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ දුරින්ම දැක්කේමය. දැක, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“නිදුක්වූ මොග්ගල්ලානයෙනි, එනු මැනවි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, යහපත් ගමනක් වේවා! මෙහි ඒම පිණිස බොහෝ කලකින් මේ පැමිණීම කෙළේය. මේ ආසනය පණවන ලදී. වැඩ හිඳිනු මැනවි. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයනි” යි (කීයේය.) ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටියේමය. තිස්ස බ්‍රහ්ම තෙමේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ තිස්ස බ්‍රහ්මයාට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම මෙසේ කීයේය.
“තිස්යය, සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, කවර දෙවියන්ට මෙබඳු ඥානයක් වේද?
“නිදුක්වූ මොග්ගල්ලානයෙනි, ‘සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය වෙයි.”
“සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, සියලුම බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය වේද?”
“නිදුක්වූ මොග්ගල්ලානයෙනි, ‘සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය නොවෙයි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, බ්‍රහ්මවූ ආයුෂයෙන් සතුටුවූ බ්‍රහ්මවූ වර්‍ණයෙන් බ්‍රහ්මවූ සැපයෙන් බ්‍රහ්මවූ කීර්තියෙන් ආධිපත්‍යයෙන් සතුටුවූ යම් බ්‍රහ්ම කායිකයෝ වෙද්ද, ඒ මත්තෙහි මිදීම තතුසේ නොදනීද, ඔවුන්ට මේ ඥානය නොවෙයි.
නිදුක්වූ මොග්ගල්ලානයෙනි, බ්‍රහ්මවූ, ආයුෂයෙන් අසතුටුවූ, වර්‍ණයෙන්, සැපයෙන්, කීර්තියෙන් බ්‍රහ්මවූ ආධිපත්‍යයෙන් අසතුටු වුවාහු ඒ මතු මිදීමද තතුසේ දනිද්ද, ඔවුන්ට සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, මේ ඥානය වෙයි.
“නිදුක්වූ මොග්ගල්ලානයෙනි, මෙහි මහණතෙම උභතොභාග විමුක්ත වූයේ (අර්හත් ඵලයෙහි අරූපධ්‍යාන පාදකොට විමුක්තවුයේ) වෙයි. ඒ කාරණය දෙවියෝ මෙසේ දනිත්. උභතොභාග විමුක්තවූ ආයුෂ්මත්තෙම ඔහුගේ කය යම්තාක්ද, ඒතාක් මෙහි පෙණෙත්. ශරීරයාගේ බිඳීමෙන් මනුෂ්‍යයෝ ඔහු නොදකිත්. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයි ඒ දෙවියන්ට මේ ඥානය වෙයි.