7. 2. 1. 2.
[පුරිසගති සුත්තං]
[සැවැත් නුවර නිදානය]
2. “මහණෙනි, සප්ත පුරිස ගතිද, අනුපාදා පරිනිර්‍වාණයද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි.” - “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සප්ත පුරිස ගති (පුද්ගලයන් ස්වභාව හත) කවරහුද?
(1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි: ‘මෙසේ නොවුයේය, මට මෙසේ නොවන්නේය. න භවිස්සති (නොවන්නේය), මට ඇති නොවන්නේය. යම් යම් වුවක් ඇද්ද, එය දුරු කරන්නෙමි’යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවිමෙහි නොඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණ පදයක් ඇද්ද, සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. හෙද වනාහි ඔහුට ඒ නිර්‍වාණ පදය සියල්ලෙන් සියල්ල ප්‍රත්‍යක්‍ෂවූයේ නොවෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. හෙතෙම ඔරම්භාගිය සංයෝජන (මෑත බැඳුම්) පස ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි.
“මහණෙනි, යම්සේ දවල් කාලයෙහි ඉතා රත්වු යකඩ කබල නැසෙන කල්හි, එහි පතුරු ඇතිවී නිවෙන්නේද, -
“මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂුව මෙසේම පිළිපන්නේ වෙයි: ‘නොවූයේය, මට නොවන්නේය. න භවිස්සති, මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් (වූවක්) ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. ශාන්තවු මත්තෙහි නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඒ පදයද වනාහි සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ නොවෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වේ.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි: ‘නොවූයේය, මට නොවන්නේය. න භවිස්සති, මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වේ.