7. 1. 5. 5.
5. සංඛිත්ත සත්ත සඤ්ඤා සූත්රය
සැවැත් නුවරදී ය.
48. “මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති. “ඒ සත කවරේද?
අශුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි පිළිකුල් සංඥාව, සියලු ලෝකයෙහි නොඇළුන සංඥාව. අනිත්ය සංඥාව, අනිත්යයෙහි දුක් සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව
මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
7. 1. 5. 6.
විත්ථත සත්ත සඤ්ඤා සූත්රය
සැවැත් නුවර නිදානයි.
49. “මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති. ඒ කවර සතක් ද යත්:
අශුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි පිළිකුල් සංඥාව, සියලු ලෝකයෙහි නොඇළුන සංඥාව. අනිත්ය සංඥාව, අනිත්යයෙහි දුක් සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව.
මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
(1) මහණෙනි, අශුභ සංඥාව භාවිතා කරන ලද්දී බහුලීකෘත වූවා මහත්ඵල මහානිශංස වන්නී ය, අමතය (නිවණ) බැස ගත්තී ය, අමතය පර්යවසාන කොට ඇත්තී ය යි මෙසේ යමක් වදාරන ලද්දේ ද, මෙය කුමක් පිණිස වදාරන ලද්දේ ද?
“මහණෙනි, අශුභ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්ෂුවගේ මෛථුන ධර්මයට එක්විම කෙරෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, භික්ෂුවගේ අශුභ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, මෛථුන ධර්මයට එක් වීම කෙරෙහි සිත සැඟවෙයි, හැකිලෙයි, පෙරළෙයි, දිග නො හැරෙයි. උපෙක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
“මහණෙනි, ඉදින් භික්ෂුවට අශූභ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, මෛථුන ධර්මයට එක් වීම කෙරෙහි සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්ෂුව විසින් අශුභ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, මෛථුන ධර්ම සමාපත්තියෙහි සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
මහණෙනි, අශුභ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
(2) මහණෙනි, මරණ සංඥාව භාවිතා කරන ලද්දී බහුලීකෘත වූවා මහත්ඵල මහානිශංස වන්නී ය, අමතය (නිවණ) බැස ගත්තී ය, අමතය පර්යවසාන කොට ඇත්තී ය යි මෙසේ යමක් වදාරන ලද්දේ ද, මෙය කුමක් පිණිස වදාරන ලද්දේ ද?
“මහණෙනි, මරණ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්ෂුවගේ ජීවිතය පිළිබඳ බලවත් ආශාවෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, භික්ෂුවගේ මරණ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ජීවිතය පිළිබඳ බලවත් ආශාව කෙරෙහි සිත සැඟවෙයි, හැකිලෙයි, පෙරළෙයි, දිග නො හැරෙයි. උපෙක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.