7. 1. 5. 3.
3. සත්තග්ගි සූත්‍රය
සැවැත් නුවරදී ය.
46. “මහණෙනි, මේ ගිනි සතක් වෙති. කවර සතක්ද යත්?
රාගය නමැති ගින්න, ද්වේෂය නමැති ගින්න, මෝහය නමැති ගින්න, ආහුණෙය්‍ය නමැති ගින්න, ගෘහපති නමැති ගින්න, දක්‍ෂිණෙය්‍ය නමැති ගින්න, දරවලින් ඇතිවන ගින්න, යනුයි. මහණෙනි, මේ සප්ත අග්නීහු වෙති.”
7. 1. 5. 4.
4. මහාසඤ්ඤ (උග්ගත ශරීර) සූත්‍රය
47. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි උග්ගත ශරීර නම් බ්‍රාහ්මණයාගේ මහා යාගයක් එළඹියේ වෙයි. පන්සියයක් ගවයෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් ලොකු වස්සෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් ලොකු වැස්සියෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් එළුවෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් බැටළුවෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය.
එකල්හි උග්ගත ශරීර නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ උග්ගත ශරීර නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය.
“භවත් ගෞතමයන් වහන්ස, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින් අසන ලදී.”
“බ්‍රාහ්මණය, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින්ද අසන ලදී.”
උග්ගත ශරීර නම් බ්‍රාහ්මණ තෙම දෙවෙනි වරටද, තුන්වෙනි වරටද “භවත් ගෞතමයන් වහන්ස, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින් අසන ලදී.” යන මෙය භාග්‍යවතුන් වහන්සේට සැළකළේය. “බ්‍රාහ්මණය, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින්ද අසන ලදී.” “භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ හා අපගේ, මේ කාරණයෙන් සර්‍වප්‍රකාරයෙන් සමත්වයක් ඇතිවූයේ වෙයි.”
මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ උග්ගත ශරීර නම් බ්‍රාහ්මණයාට මෙසේ කිහ. “භවත් ගෞතමයන් වහන්ස, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින් අසන ලදී.’ යනුවෙන් බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න නොකටයුතුය.
බ්‍රාහ්මණය, මෙසේ වනාහි ප්‍රශ්න කටයුතුය. ‘ස්වාමීනි, මම ගිනි පුදනු කැමැත්තේ වෙමි. යාග කනුව ඔසවනු කැමැත්තේ වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට අවවාද කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට අනුශාසනය කරණ සේක්වා.’ “
ඉක්බිති උග්ගත ශරීර නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්ස,ට මෙසේ සැළකළේය. “භවත් ගෞතමයන් වහන්ස, මම ගිනි පුදනු කැමැත්තේ වෙමි. යාග කනුව ඔසවනු කැමැත්තේ වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට අවවාද කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට අනුශාසනය කරණ සේක්වා.”
“බ්‍රාහ්මණය, ගිනි පුදන තැනැත්තේ යාග කණුව ඔසවන තැනැත්තේ යාගයට මුලින්ම අකුශලවූ, දුක් දෙන්නාවූ දුක්ඛ විපාකවූ ආයුධ තුනක් ඔසවයි. කවර තුනක්ද යත්,
කාය ශස්ත්‍රය, (කය නමැති ආයුධය), වචී ශස්ත්‍රය (වචනය නමැති ආයුධය), මනඃ ශස්ත්‍රය (සිත නමැති ආයුධය) යන මේ තුනයි.
බ්‍රාහ්මණය, ගිනි පුදන්නේ, යාග කණුව ඔසවන්නේ, යාගයෙන් පෙරටුව මෙසේ සිතක් උපදියි. කෙසේද? යාගය පිණිස මෙපමණ ගවයෝ මරත්වා! යාගය පිණිස මෙපමණ ලොකු වස්සෝ මරත්වා! යාගය පිණිස මෙපමණ එළුවෝ මරත්වා! යාගය පිණිස මෙපමණ බැටළුවෝ මරත්වා! යනුවෙනි. හෙතෙම ‘පිනක් කරන්නෙමි’ යි පවක් කරයි. ‘කුශලයක් කරන්නෙමි’ යි අකුශලයක් කරයි. ‘සුගති මාර්ගයක් සොයන්නෙමි’ යි දුර්‍ගති මාර්‍ගයක් සොයයි. බ්‍රාහ්මණය, ගිනි පුදන තැනැත්තේ, යාග කණුව ඔසවන තැනැත්තේ යාගයෙන් පෙරටුව අකුශලවූ දුක් ගෙන දෙන්නාවූ, දුක්ඛ විපාකවූ, මේ පළමුවන සිත නමැති ආවුධය ඔසවයි.
“බ්‍රාහ්මණය, නැවතද ගිනි පුදන්නේ, යාග කණුව ඔසවන්නේ යාගයෙන් පෙරටුව මෙබඳු වචනයක් කියයි. යාගය පිණිස මෙපමණ ගවයෝ මරත්වා! යාගය පිණිස මෙපමණ ලොකු වස්සෝ මරත්වා! යාගය පිණිස මෙපමණ එළුවෝ මරත්වා! යාගය පිණිස මෙපමණ බැටළුවෝ මරත්වා! යනුවෙනි. හෙතෙම ‘පිනක් කරන්නෙමි’ යි පවක් කරයි. ‘කුශලයක් කරන්නෙමි’ යි අකුශලයක් කරයි. ‘සුගති මාර්ගයක් සොයන්නෙමි’ යි දුර්‍ගති මාර්‍ගයක් සොයයි. බ්‍රාහ්මණය, ගිනි පුදන තැනැත්තේ, යාග කණුව ඔසවන තැනැත්තේ යාගයෙන් පෙරටුව අකුශලවූ දුක් ගෙන දෙන්නාවූ, දුක්ඛ විපාකවූ, මේ දෙවන වචනය නමැති ආවුධය ඔසවයි.
“බ්‍රාහ්මණය, නැවතද ගිනි පුදන්නේ, යාග කණුව ඔසවන්නේ යාගයෙන් පෙරටුව මෙපමණ ගවයෝ මරත්වායි, තෙමේ පළමුකොට මරයි. යාගය පිණිස ලොකු වස්සෝ මරත්වායි තෙමේ පළමුකොට මරයි. යාගය පිණිස එළුවෝ මරත්වායි තෙමේ පළමුකොට මරයි. යාගය පිණිස බැටළුවෝ මරත්වායි තෙමේ පළමුකොට මරයි.