7. 1. 4. 4.
සාරිපුත්තකල්‍යාණමිත්ත සූත්‍රය
[සැවැත් නිදානයි]
35. “මේ රාත්‍රියෙහිම එක්තරා දේවතාවෙක් ප්‍රථම යාමය ඉක්මවූ ඒ මනහර රාත්‍රියෙහි දිළිසෙන පැහැයෙන් මුළු ජේතවනය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය:
“ස්වාමීනි, කරුණු සතක් භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්. කවර සතක්ද?
ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය, ධර්මය පිළිබඳ ගෞරවය, සඞ්ඝයා පිළිබඳ ගෞරවය, ශික්‍ෂාව පිළිබඳ ගෞරවය, සමාධිය පිළිබඳ ගෞරවය, සුවච (කීකරු) භාවය, කළ්‍යාණ මිත්‍රයන් ඇතිබවය, යන මේ ධර්‍මයෝ සත්දෙන ස්වාමීනි, භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.”
“මහණෙනි, ඒ දේවතාවා මෙය සැළකොට එතැන්හි අතුරුදහන් විය.”
මෙසේ දේශනාකළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් දේශනා කරණ ලද මෙහි වනාහි විස්තර වශයෙන් අර්ත්‍ථය මම දනිමි:
“ස්වාමීනි, මේ ශාසනයෙහි භික්‍ෂුව තමන් ශාස්තෘ ගෞරවයෙන් යුක්තවේද, ශාස්තෘ ගෞරවයේ ගුණ වණන්නේ ශාස්තෘ ගෞරවයෙන් තොර යම් ඒ භික්‍ෂූහු වෙද්ද, ඔවුන්ද ශාස්තෘ ගෞරවය පිණිස යොදවාද, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද, ඔවුන්ගේ ගුණය සුදුසු කාලයෙහි නොසඟවා ඇතිසේ කියයිද, තමන් ධම්ම ගෞරවයෙන් යුක්තවේද... ධම්ම ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් සඞ්ඝ ගෞරවයෙන් යුක්තවේද... සඞ්ඝ ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් ශික්‍ෂා ගෞරවයෙන් යුක්තවේද... ශික්‍ෂා ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් සමාධි ගෞරවයෙන් යුක්තවේද... සමාධි ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් සුවච ගෞරවයෙන් යුක්තවේද... සුවච ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් කළ්‍යාණ මිත්‍රත්‍ව යන මෙයින් යුක්තවේද, කළ්‍යාණ මිත්‍රත්වය පිළිබඳ ගුණ කියන්නේ එයින් යුක්ත නොවූවන්ද එහි යොදවාද, කළ්‍යාණ මිත්‍රත්වයෙන් යුක්ත යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඔවුන්ගේ ගුණය සුදුසු කල්හි නොසඟවා ඇතිසේ කියයිද,”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් දේශනා කරණ ලද මෙහි අර්ත්‍ථය විස්තර වශයෙන් දනිමි යනුයි.”
“මැනවි, මැනවි, ශාරිපුත්‍රය. ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්මයේ අර්ථය තෝ මෙසේ විස්තර වශයෙන් දන්නෙහි ය.”
“ශාරිපුත්‍රය, මේ ශාසනයෙහි භික්‍ෂුව තමන් ශාස්තෘ ගෞරවයෙන් යුක්තවේද, ශාස්තෘ ගෞරවයේ ගුණ වණන්නේ ශාස්තෘ ගෞරවයෙන් තොර යම් ඒ භික්‍ෂූහු වෙද්ද, ඔවුන්ද ශාස්තෘ ගෞරවය පිණිස යොදවාද, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද, ඔවුන්ගේ ගුණය සුදුසු කාලයෙහි නොසඟවා ඇතිසේ කියයිද. තමන් ධම්ම ගෞරවයෙන් යුක්තවේද... තමන් සඞ්ඝ ගෞරවයෙන් යුක්තවේද... තමන් ශික්‍ෂා ගෞරවයෙන් යුක්තවේද... තමන් සමාධි ගෞරවයෙන් යුක්තවේද... තමන් සුවච ගෞරවයෙන් යුක්තවේද... තමන් කළ්‍යාණ මිත්‍රත්‍ව යන මෙයින් යුක්තවේද, කළ්‍යාණ මිත්‍රත්වය පිළිබඳ ගුණ කියන්නේ එයින් යුක්ත නොවූවන්ද එහි යොදවාද, කළ්‍යාණ මිත්‍රත්වයෙන් යුක්ත යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඔවුන්ගේ ගුණය සුදුසු කල්හි නොසඟවා ඇතිසේ කියයිද.”
“ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්මයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුය.”
7. 1. 4. 5.
සෙවිතබ්බ මිත්ත සූත්‍රය
[සැවැත් නිදානයි]
36. “කරුණු සතකින් යුක්තවූ මිත්‍රතෙම සේවනය කටයුතුයි. කවර සතකින්ද යත්?
දෙන්නට දුෂ්කර දෙයක් දේද, කරන්නට දුෂ්කර දෙයක් කෙරේද, දුෂ්කර ඉවසීමක් ඉවසාද, ඔහුගේ රහස් මිත්‍රයාට ප්‍රකට කෙරේද, ඔහුගේ රහස් ආරක්‍ෂා කෙරේද, විපතෙහිදී අත් නොහරීද, දුප්පත් මිත්‍රයා පහත්කොට නොසිතාද, මහණෙනි, මේ කරුණු සතින් යුක්තවූ මිත්‍රයා සේවනය කටයුතුය.”
36. “දීමට දුෂ්කරවූ වස්තුවක් දේද, අමාරුවෙන් කටයුතු දෙයක් හෝ කෙරේද, යලිදු ඒ මිත්‍රයාගේ නපුරු වචන ඉවසාද,
37. ඕහට තමාගේ රහස් කියාද, ඔහුගේ රහස් සඟවාද, විපතෙහිදී අත් නොහරීද, මිත්‍රයා පහත්කොට නොසිතාද,
38. යන මේ කරුණු යම් පුද්ගලයකු කෙරෙහි විද්‍යමාන වේද, එබඳුවූ ඒ මිත්‍ර තෙම මිත්‍රයන් කැමැත්තකු විසින් සේවනය කටයුතුය.”
7. 1. 4. 6.
අපිපනුජ්ජමාන සූත්‍රය
[සැවැත් නිදානයි]
37. “මහණෙනි, කරුණු සතකින් යුක්ත පැවිදි මිත්‍රයා ලිංගනාසනයෙන් නසනු ලැබීමෙනුදු (-එළවත්දීද) සේවනය කටයුතුය. භජනය කටයුතුය, පයුරුපාසනය (ආශ්‍රය) කටයුතුය. කවර සතකින්ද යත්?
ප්‍රියවූද, මන වඩන්නාවූද, ගෞරවයෙන් සැලකියයුතුවූද, යහපත් වචන කථාකරන්නා වූද, අර්ථයෙන් ගැඹුරු කථා කරන්නාවූද, අසමානයෙහි නොයෙදෙන්නාවූද,
යන කරුණු සතින් යුක්ත පැවිදි මිත්‍රයා ලිංගනාසනයෙන් නසනු ලැබීමෙනුදු (-එළවත්දීද) සේවනය කටයුතුය. භජනය කටයුතුය, පයුරුපාසනය (ආශ්‍රය) කටයුතුය.”