7. 1. 4. 5.
සෙවිතබ්බ මිත්ත සූත්‍රය
[සැවැත් නිදානයි]
36. “කරුණු සතකින් යුක්තවූ මිත්‍රතෙම සේවනය කටයුතුයි. කවර සතකින්ද යත්?
දෙන්නට දුෂ්කර දෙයක් දේද, කරන්නට දුෂ්කර දෙයක් කෙරේද, දුෂ්කර ඉවසීමක් ඉවසාද, ඔහුගේ රහස් මිත්‍රයාට ප්‍රකට කෙරේද, ඔහුගේ රහස් ආරක්‍ෂා කෙරේද, විපතෙහිදී අත් නොහරීද, දුප්පත් මිත්‍රයා පහත්කොට නොසිතාද, මහණෙනි, මේ කරුණු සතින් යුක්තවූ මිත්‍රයා සේවනය කටයුතුය.”
36. “දීමට දුෂ්කරවූ වස්තුවක් දේද, අමාරුවෙන් කටයුතු දෙයක් හෝ කෙරේද, යලිදු ඒ මිත්‍රයාගේ නපුරු වචන ඉවසාද,
37. ඕහට තමාගේ රහස් කියාද, ඔහුගේ රහස් සඟවාද, විපතෙහිදී අත් නොහරීද, මිත්‍රයා පහත්කොට නොසිතාද,
38. යන මේ කරුණු යම් පුද්ගලයකු කෙරෙහි විද්‍යමාන වේද, එබඳුවූ ඒ මිත්‍ර තෙම මිත්‍රයන් කැමැත්තකු විසින් සේවනය කටයුතුය.”
7. 1. 4. 6.
අපිපනුජ්ජමාන සූත්‍රය
[සැවැත් නිදානයි]
37. “මහණෙනි, කරුණු සතකින් යුක්ත පැවිදි මිත්‍රයා ලිංගනාසනයෙන් නසනු ලැබීමෙනුදු (-එළවත්දීද) සේවනය කටයුතුය. භජනය කටයුතුය, පයුරුපාසනය (ආශ්‍රය) කටයුතුය. කවර සතකින්ද යත්?
ප්‍රියවූද, මන වඩන්නාවූද, ගෞරවයෙන් සැලකියයුතුවූද, යහපත් වචන කථාකරන්නා වූද, අර්ථයෙන් ගැඹුරු කථා කරන්නාවූද, අසමානයෙහි නොයෙදෙන්නාවූද,
යන කරුණු සතින් යුක්ත පැවිදි මිත්‍රයා ලිංගනාසනයෙන් නසනු ලැබීමෙනුදු (-එළවත්දීද) සේවනය කටයුතුය. භජනය කටයුතුය, පයුරුපාසනය (ආශ්‍රය) කටයුතුය.”
39. “ස්වකීය ශීලයෙන් ප්‍රිය ඇත්තේද, ගරුවූයේද, සම්භාවනා කටයුතුද, කීමෙහි දක්‍ෂවේද, පිළිවිසි තෙපුල් ඉවසන්නේද, ගැඹුරු කථාව කරන්නේද, අස්ථානයෙහි නොයොදන්නේද,
40. යන කරුණු සත මේ ලෝකයෙහි යම් පුද්ගලයක්හු කෙරෙහි විද්‍යමාන වෙත්ද, ස්වකීය හා අනුන්ගේ දියුණුව කැමති අනුකම්පා කරන්නාවූ එබඳුවූ ඒ (පැවිදි) මිතුරුතෙම ලිංගාසනයෙන් නසනු ලබන්නහු විසින් (එළවත්ද) ද භජනය කටයුතු වේ.”
7. 1. 4. 7.
පටිසම්භිදා සච්ඡිකරණ සූත්‍රය
[සැවැත් නිදානයි]
38. “කරුණු සතකින් යුක්ත භික්‍ෂුතෙම කල් නොයවාම සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය. කවර සතකින්ද යත්?
මෙය මාගේ සිතෙහි මැලිබවයයි තත්වූ පරිදි දනියි. ආධ්‍යාත්මිකවූද, සංක්‍ෂිප්ත (හැකුළුණ) සිත ආධ්‍යාත්මික සංක්‍ෂිප්ත සිතයයි තත්වූ පරිදි දනියි. බාහ්‍යවූ වික්‍ෂිප්ත (විසිරුන) සිත බාහ්‍යවූ වික්‍ෂිප්ත සිතයයි තත්වූ පරිදි දනියි. ඕහට සප්පාය අසප්පායයෙහි දන්නේම වේදනාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම සංඥාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම විතර්කයෝ උපදිත්, දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. හෙතෙම ඔහුගේ ප්‍රඥාවෙන් හීන ප්‍රණීත ධර්‍මයන්ද, කළු සුදු සප්‍රතිභාගයන්හි (සමානව පෙනෙන දෙයෙහි) නිමිත්ත මනාකොට සිහි කරණ ලද්දේ උපධාරණය කරණ ලද්දේ (සලකන ලද්දේ) ප්‍රතිවේධ කරණ ලද්දේ (තේරුණු) යහපත්සේ ගන්නා ලද්දේ වෙයි.
කරුණු සතකින් යුක්ත භික්‍ෂුතෙම කල් නොයවාම සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය.”
7. 1. 4. 8.
8. දුතියපටිසම්භිදාසුත්තං
සැවැත් නුවර නිදානයි.
39. “කරුණු සතකින් යුත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. කවර සතකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය මාගේ සිතේ මැලිබවයයි තත්වූ පරිදි දනියි. ආධ්‍යාත්මිකවූ, සංක්‍ෂිප්ත (හැකුළුණ) සිත මාගේ සංක්‍ෂිප්ත (හැකුළුණ) සිතයයි මනාකොට දනියි. බාහ්‍යවූ වික්‍ෂිප්ත (විසිරුණු) සිත බාහ්‍යවූ මාගේ වික්‍ෂිප්ත (විසිරුණු) සිතයයි තත්වූ පරිදි දනියි. සප්පාය අසප්පායයෙහි ඕහට (ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට) දන්නේම වේදනාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්.