7. 1. 4. 3.
කල්‍යාණමිත්තතා සූත්‍රය
[සැවැත් නිදානයි]
34. “මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් ප්‍රථම යාමය ඉක්මවූ ඒ මනහර රාත්‍රියෙහි දිළිසෙන පැහැයෙන් මුළු ජේතවනය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය:
“ස්වාමීනි, කරුණු සතක් භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්. කවර සතක්ද?
ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය, ධර්මය පිළිබඳ ගෞරවය, සඞ්ඝයා පිළිබඳ ගෞරවය, ශික්‍ෂාව පිළිබඳ ගෞරවය, සමාධිය පිළිබඳ ගෞරවය, සුවච (කීකරු) භාවය, කළ්‍යාණ මිත්‍රයන් ඇතිබවය, යන මේ ධර්‍මයෝ සත්දෙන ස්වාමීනි, භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතීය යනුයි.”
“මහණෙනි, ඒ දේවතාවා මෙය සැළකොට ප්‍රදක්‍ෂිණා කිරීමෙන් මට වැඳ, එතැන්හි අතුරුදහන් විය.”
34. “කෙළෙස් තවනසුළු භික්‍ෂුතෙම, ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය ඇත්තේද, ධර්මය පිළිබඳව ගෞරවය ඇත්තේද, සංඝයා ගැන දැඩි ගෞරවය ඇත්තේද, සමාධිය ගැන ගෞරවය ඇත්තේද, ශික්‍ෂාව පිළිබඳ උසස් ගෞරවය ඇත්තේද,
35. කළ්‍යාණ මිත්‍රයන් ඇත්තාවූ, සුවචවූ, ගුරු ආශ්‍රය ඇති, ගෞරව සහිතවූ (භික්‍ෂුතෙම) පිරිහීමට අයෝග්‍ය වේ. නිර්‍වාණයාගේම සමීපයෙහි වේ.”
7. 1. 4. 4.
සාරිපුත්තකල්‍යාණමිත්ත සූත්‍රය
[සැවැත් නිදානයි]
35. “මේ රාත්‍රියෙහිම එක්තරා දේවතාවෙක් ප්‍රථම යාමය ඉක්මවූ ඒ මනහර රාත්‍රියෙහි දිළිසෙන පැහැයෙන් මුළු ජේතවනය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය:
“ස්වාමීනි, කරුණු සතක් භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්. කවර සතක්ද?
ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය, ධර්මය පිළිබඳ ගෞරවය, සඞ්ඝයා පිළිබඳ ගෞරවය, ශික්‍ෂාව පිළිබඳ ගෞරවය, සමාධිය පිළිබඳ ගෞරවය, සුවච (කීකරු) භාවය, කළ්‍යාණ මිත්‍රයන් ඇතිබවය, යන මේ ධර්‍මයෝ සත්දෙන ස්වාමීනි, භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.”
“මහණෙනි, ඒ දේවතාවා මෙය සැළකොට එතැන්හි අතුරුදහන් විය.”
මෙසේ දේශනාකළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් දේශනා කරණ ලද මෙහි වනාහි විස්තර වශයෙන් අර්ත්‍ථය මම දනිමි:
“ස්වාමීනි, මේ ශාසනයෙහි භික්‍ෂුව තමන් ශාස්තෘ ගෞරවයෙන් යුක්තවේද, ශාස්තෘ ගෞරවයේ ගුණ වණන්නේ ශාස්තෘ ගෞරවයෙන් තොර යම් ඒ භික්‍ෂූහු වෙද්ද, ඔවුන්ද ශාස්තෘ ගෞරවය පිණිස යොදවාද, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද, ඔවුන්ගේ ගුණය සුදුසු කාලයෙහි නොසඟවා ඇතිසේ කියයිද, තමන් ධම්ම ගෞරවයෙන් යුක්තවේද... ධම්ම ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් සඞ්ඝ ගෞරවයෙන් යුක්තවේද... සඞ්ඝ ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් ශික්‍ෂා ගෞරවයෙන් යුක්තවේද... ශික්‍ෂා ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් සමාධි ගෞරවයෙන් යුක්තවේද... සමාධි ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් සුවච ගෞරවයෙන් යුක්තවේද... සුවච ගෞරවයෙන් යුක්ත යම් භික්‍ෂූහු වෙද්ද... කියයිද, තමන් කළ්‍යාණ මිත්‍රත්‍ව යන මෙයින් යුක්තවේද, කළ්‍යාණ මිත්‍රත්වය පිළිබඳ ගුණ කියන්නේ එයින් යුක්ත නොවූවන්ද එහි යොදවාද, කළ්‍යාණ මිත්‍රත්වයෙන් යුක්ත යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඔවුන්ගේ ගුණය සුදුසු කල්හි නොසඟවා ඇතිසේ කියයිද,”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් දේශනා කරණ ලද මෙහි අර්ත්‍ථය විස්තර වශයෙන් දනිමි යනුයි.”
“මැනවි, මැනවි, ශාරිපුත්‍රය. ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්මයේ අර්ථය තෝ මෙසේ විස්තර වශයෙන් දන්නෙහි ය.”