7. 1. 3. 7.
[පඤ්චම භික්ඛු අපරිහානිය සූත්රය]
[සැවැත් නිදානයි]
27. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක: මහණෙනි, ඒ අපරිහානිය ධර්ම සත කවරේද?
මහණෙනි, යම්තාක් භික්ෂූහු අනිත්ය සංඥාව වඩද්ද, මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් භික්ෂූහු අනත්ත සංඥාව වඩද්ද, -පෙ- අශුභ (පිළිකුල්) සංඥාව වඩද්ද -පෙ- ආදීනව (දොස්) සංඥාව වඩද්ද -පෙ- ප්රහාණ (ගෙවීම) සංඥාව වඩද්ද -පෙ- විරාග (නොඇලීම) සංඥාව වඩද්ද -පෙ- නිරෝධ (නිවීමේ) සංඥාව වඩද්ද, මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්මයෝ භික්ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
7. 1. 3. 8.
[සෙඛ අපරිහානීය සුත්තං]
[සැවැත් නිදානයි]
28. මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්ෂ (රහත් ඵලය සඳහා පිළිපදින) භික්ෂුවගේ පිරිහීම පිණිස වෙති. කවර සතක්ද යත්:
කර්මාරාමතාව (වැඩවලම යෙදී සිටීම), භස්සාරාමතාව (නිතර දෙඩීමෙහි ඇලීම), නිද්දාරාමතාව (නිද්රාවෙහි ඇලීම), සඞ්ගණිකාරාමතාව (සමූහයෙහි ඇලීම), ඉන්ද්රියයන්හි නොවසන ලද දොරවල් ඇති බව, භෝජනයෙහි පමණ නොදැනීම, සංඝයා කෙරෙහි සංඝ කටයුතු ඇද්ද, එහිදී ශෛක්ෂ භික්ෂුවයයි සිතා බලයි: “සංඝයා කෙරෙහි ස්ථවිර (වැඩිමහළු)වූද, චිරරාත්රඥ (බොහෝකල් දන්නා)වූද, පැවිදිව බොහෝ කල්වූද, (ශාසනික) බර උසුලන්නාවූද, ඔවුහු එයින් ප්රකට වන්නාහ”යි තමා (එම කටයුතුවලින්) වෙන්වීමකට පැමිණේද.
මහණෙනි, මේ සප්ත ධර්මයෝ ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස වෙති. කවර සතක්ද යත්:
කර්මාරාමතාව නොවීම, නිද්දාරාමතාව නොවීම, භස්සාරාමතාව නොවීම, සඞ්ගණිකාරාමතාව නොවීම, ඉන්ද්රියයන්හි වසන ලද දොරවල් ඇති බව, භෝජනයෙහි පමණ දැනීම, සංඝයා කෙරෙහි සංඝ කටයුතු ඇද්ද, එහිදී ශෛක්ෂ භික්ෂුව මෙසේ සිතා බලයි: “සංඝයා කෙරෙහි ස්ථවිර (වැඩිමහළු)වූද, චිරරාත්රඥ (බොහෝකල් දන්නා)වූද, පැවිදිව බොහෝ කල්වූද, (ශාසනික) බර උසුලන්නාවූද, ඔවුහු එයින් ප්රකට වන්නාහ”යි තමා (එම කටයුතුවලින්) වෙන්වීමකට නොපැමිණේද.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස වෙති.
7. 1. 3. 9.
[උපාසක අපරිහානීය සුත්තං]
[සැවැත් නිදානයි]
29. මහණෙනි, මේ ධර්මයෝ සත්දෙනෙක් උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්. කවර සතක්ද යත්:
භික්ෂූන් දැකීම පිරිහෙළයි, සද්ධර්ම ශ්රවණය පමා කරයි, අධිශීලයෙහි නොහික්මෙයි, ස්ථවිරවූද නවකවූද මධ්යමවූද භික්ෂූන් කෙරෙහි අප්රසාද බහුල වූයේ වෙයි, දොස් කීමේ අදහසින් සිදුරු සොයමින් ධර්මය අසයි, මෙයින් පිටත (වෙනත් ආගමක) දක්ෂිණාර්හයන් (පූජා ලැබිය යුත්තන්) සොයයි, එහිද පළමුව (සත්කාර) කරයි.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්.