7. 1. 3. 8.
[සෙඛ අපරිහානීය සුත්තං]
[සැවැත් නිදානයි]
28. මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්ෂ (රහත් ඵලය සඳහා පිළිපදින) භික්ෂුවගේ පිරිහීම පිණිස වෙති. කවර සතක්ද යත්:
කර්මාරාමතාව (වැඩවලම යෙදී සිටීම), භස්සාරාමතාව (නිතර දෙඩීමෙහි ඇලීම), නිද්දාරාමතාව (නිද්රාවෙහි ඇලීම), සඞ්ගණිකාරාමතාව (සමූහයෙහි ඇලීම), ඉන්ද්රියයන්හි නොවසන ලද දොරවල් ඇති බව, භෝජනයෙහි පමණ නොදැනීම, සංඝයා කෙරෙහි සංඝ කටයුතු ඇද්ද, එහිදී ශෛක්ෂ භික්ෂුවයයි සිතා බලයි: “සංඝයා කෙරෙහි ස්ථවිර (වැඩිමහළු)වූද, චිරරාත්රඥ (බොහෝකල් දන්නා)වූද, පැවිදිව බොහෝ කල්වූද, (ශාසනික) බර උසුලන්නාවූද, ඔවුහු එයින් ප්රකට වන්නාහ”යි තමා (එම කටයුතුවලින්) වෙන්වීමකට පැමිණේද.
මහණෙනි, මේ සප්ත ධර්මයෝ ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස වෙති. කවර සතක්ද යත්:
කර්මාරාමතාව නොවීම, නිද්දාරාමතාව නොවීම, භස්සාරාමතාව නොවීම, සඞ්ගණිකාරාමතාව නොවීම, ඉන්ද්රියයන්හි වසන ලද දොරවල් ඇති බව, භෝජනයෙහි පමණ දැනීම, සංඝයා කෙරෙහි සංඝ කටයුතු ඇද්ද, එහිදී ශෛක්ෂ භික්ෂුව මෙසේ සිතා බලයි: “සංඝයා කෙරෙහි ස්ථවිර (වැඩිමහළු)වූද, චිරරාත්රඥ (බොහෝකල් දන්නා)වූද, පැවිදිව බොහෝ කල්වූද, (ශාසනික) බර උසුලන්නාවූද, ඔවුහු එයින් ප්රකට වන්නාහ”යි තමා (එම කටයුතුවලින්) වෙන්වීමකට නොපැමිණේද.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස වෙති.
7. 1. 3. 9.
[උපාසක අපරිහානීය සුත්තං]
[සැවැත් නිදානයි]
29. මහණෙනි, මේ ධර්මයෝ සත්දෙනෙක් උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්. කවර සතක්ද යත්:
භික්ෂූන් දැකීම පිරිහෙළයි, සද්ධර්ම ශ්රවණය පමා කරයි, අධිශීලයෙහි නොහික්මෙයි, ස්ථවිරවූද නවකවූද මධ්යමවූද භික්ෂූන් කෙරෙහි අප්රසාද බහුල වූයේ වෙයි, දොස් කීමේ අදහසින් සිදුරු සොයමින් ධර්මය අසයි, මෙයින් පිටත (වෙනත් ආගමක) දක්ෂිණාර්හයන් (පූජා ලැබිය යුත්තන්) සොයයි, එහිද පළමුව (සත්කාර) කරයි.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙනෙක් උපාසකයාගේ නොපිරිහීම පිණිස පවතිත්. කවර සතක්ද යත්:
භික්ෂූන් දැකීම පිරිහෙළා නොදමයි. සද්ධර්ම ශ්රවණය පමා නොකරයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිරවූද නවකවූද මධ්යමවූද භික්ෂූන් කෙරෙහි ප්රසාද බහුල වූයේ වෙයි. දොස් කීමේ අදහසින් තොරව, සිදුරු නොසොයමින් ධර්මය අසයි. මෙයින් පිටත (වෙනත් ආගමක) දක්ෂිණාර්හයන් නොසොයයි. මෙහිම පළමුව (සත්කාර) කරයි.
මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ නොපිරිහීම පිණිස පවතිත්.
14. යම් උපාසකයෙක් භික්ෂුන් දැකීමට යාමද, බණ අසන්නට යාමද, අඩු කෙරේද, පන්සිල්, දසසිල් ආදී උත්තම ශීලයන්හි නොහික්මේද,
15. භික්ෂූන් කෙරෙහි නොපැහැදීමද වඩාද, ගර්හා කරණ සිත් ඇත්තේ, සිදුරු සොයන්නේ, බණ අසන්ට නොකැමතිවේද,
16. යම් උපාසකයෙක් මේ ශාසනයෙන් පිටත දක්ෂිණාර්හයක්හු සොයාද, ඒ බාහිරකයන්ට දී, පසුව භික්ෂූන්ට දේද,
17. මනාකොට දේශනා කරණ ලද මේ සප්ත ධර්මයන් සේවනය කරන්නාවූ උපාසකතෙම සද්ධර්මයෙන් පිරිහෙයි.
18. යම් උපාසකයෙක් භික්ෂුන් දැකීමට යාමද, බණ අසන්නට යාමද, නොවළක්වාද, උත්තම ශීලයෙහි හික්මේද,
19. භික්ෂූන් කෙරෙහි පැහැදීම වැඩේද, දෝෂාරෝපණය නොකරණ සිත් ඇත්තේ, බණ අසන්ට කැමතිවේද,
20. යම් උපාසකයෙක් මේ ශාසනයෙන් පිට දක්ෂිණාර්හයක්හු නොසොයාද, මේ ශාසනයෙහි පූර්ව සත්කාරයකෙරේද,
21. මනාකොට දේශනා කරණ ලද සප්ත අපරිහානිය ධර්මයන් සේවනය කරන්නාවූ උපාසකතෙම සද්ධර්මයෙන් නොපිරිහෙයි.
7. 1. 3. 10.
[උපාසක විපත්ති සුත්තං]
[සැවැත් නිදානයි]
30. මහණෙනි, උපාසකයාට විපත්ති කරුණු සතක් වෙති -පෙ- මහණෙනි, උපාසකයාට සම්පත්ති කරුණු සතක් වෙති -පෙ-