7. 1. 3. 3.
[පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය]
23. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක:
“මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහුද?
(1) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු රැස්වීම් බහුලකොට ඇත්තාහු රැස්වෙද්ද මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
(2) මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂූහු සමගිව රැස්වෙද්ද, සමගිව නැගීසිටිද්ද, සමගිව සංඝයා පිළිබඳ කටයුතු කෙරෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
(3) මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු නොපැණවූවක් නොපණවද්ද, පැණවූදේ නොබිඳිද්ද, යම්සේ පණවන ලද ශික්‍ෂා පදයන් සමාදන්ව සිටිද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
(4) මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු යම් ඒ පැවිදිව බොහෝකල්වූ, බොහෝ රාත්‍රීන් දන්නාවූ, සඞ්ඝ පීතෘවරු, සඞ්ඝ නායකවරු වෙද්ද, උන්වහන්සේලාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, උන්වහන්සේලාගෙන් ඇසිය යුත්තක් ඇතැයි සිතත්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
(5) මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු උපන්නාවූ, නැවත භවයක් ඇතිකරන්නාවූ තෘෂ්ණාවගේ වසඟයට නොයද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
(6) මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු අරණ්‍ය සේනාසනයන්හි බලාපොරොත්තුව ඇතිකර ගනිද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
(7) මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂූහු පෞද්ගලිකවම මෙසේ සිහිය පිහිටුවද්ද: ‘කෙසේ නම් නොපැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් පැමිණෙන්නාහුද, පැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් සැපසේ වෙසෙන්නාහුදැයි’ කියායි. මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
7. 1. 3. 4.
[දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය]
[සැවැත් නිදානයි]
24. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. මහණෙනි, ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්මාන්තයෙහි ඇලුණෝ නොවෙත්ද, කර්මාන්තයෙහි ඇලීමෙහි යෙදුණෝ නොවෙත්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු භස්සාරාම (නිතර දෙඩීමෙහි ඇළුනෝ) නොවෙද්ද -පෙ- නිද්‍රාවෙහි ඇළුනෝ නොවෙද්ද -පෙ- සමූහයෙහි ඇළුනෝ නොවෙද්ද -පෙ- පවිටු අදහස් ඇත්තෝ නොවෙත්ද, පවිටු අදහස්වල වසඟයට නොගියාහු නොවෙද්ද -පෙ- පාප මිත්‍රයන් නොවෙද්ද, පාපසහායකයන් නොවෙද්ද, පාප සම්පවංක නොවෙද්ද -පෙ- ස්වල්ප මාත්‍ර විශේෂාධිගමයකින් අන්තරා වොසානයට (අතරමග නවතාලීමට) නොපැමිණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
7. 1. 3. 5.
[තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය]
[සැවැත් නිදානයි]
25. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක: මහණෙනි, ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, යම්තාක් කල් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇත්තෝ වෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.