6. 1. 10.
10. උද්‍ධච්චපහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
සිතේ නොසන්සුන් කම, සංවර නොවීම, ප්‍රමාදය, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
සිතේ නොසන්සුන් කම ප්‍රහීණ කිරීම පිණිස කෙලෙස් ඔබා තැබීම (සමථො) වැඩිය යුතුයි. අසංවරය ප්‍රහීණ කිරීම පිණිස සංවරය වැඩිය යුතුයි. ප්‍රමාදය ප්‍රහීණ කිරීම පිණිස අප්‍රමාදය වැඩිය යුතුයි
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
එකොලොස් වැනි තික වර්‍ගය නිමි.
එහි උද්දානය:
රාග, දුච්චරිත, විතක්ක, සඤ්ඤා, ධාතු, අස්සාද, අරති, සන්තුට්ඨි, දොවචස්සතා, උද්ධච්ච යයි මේ වර්ගය කියනු ලැබේ.
2. සාමඤ්ඤ වර්‍ගය.
6. 2. 1.
1. කායානුපස්සී විහරණ සූත්‍රය
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, ධර්ම සයක් දුරු නොකර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට නුසුදුසුය. කිනම් සයක්ද යත්:
කර්‍මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි.
මහණෙනි, මේ ධර්‍ම සය අත් නොහැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට නුසුදුසුය.
මහණෙනි, ධර්‍ම සයක් අත්හැර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට සුදුසුය. කිනම් සයක්ද යත්:
කර්‍මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි.
මහණෙනි, මේ ධර්‍ම සය අත් හැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට සුදුසුය.
6. 2. 2-15.
[අජ්ඣත්තකායානුපස්සී ආදී සූත්‍ර පහළොස]
[සැවැත් නිදානයි]
2-15. මහණෙනි, ධර්ම සයක් දුරු නොකර අධ්‍යාත්මික කයෙහි (කායානුපස්සීව විහරණය කිරීමට) -පෙ- බාහිර කයෙහි -පෙ- අධ්‍යාත්මික බාහිර කයෙහි -පෙ- වේදනාවන්හි -පෙ- අධ්‍යාත්මික වේදනාවන්හි -පෙ- බාහිර වේදනාවන්හි -පෙ- අධ්‍යාත්මික බාහිර වේදනාවන්හි -පෙ- සිතෙහි -පෙ- අධ්‍යාත්මික සිතෙහි -පෙ- බාහිර සිතෙහි -පෙ- අධ්‍යාත්මික බාහිර සිතෙහි -පෙ- ධර්මයන්හි -පෙ- අධ්‍යාත්මික ධර්මයන්හි -පෙ- බාහිර ධර්මයන්හි -පෙ- අධ්‍යාත්මික බාහිර ධර්මයන්හි ධර්මානුපස්සීව විහරණය කිරීමට නුසුදුසුය. කවර සයක්ද යත්:
කර්‍මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි.
මහණෙනි, මේ ධර්‍ම සය අත් හැර අජ්ඣත්තබහිද්ධා ධර්‍මයන්හි ධර්මානුපස්සීව විහරණය කිරීමට සුදුසු වේ.