6. 2. 4. 9.
9. කිඤ්චිසංඛාරූප ගමන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
39. “මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද:
සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නට නුසුදුසු වෙයි. සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ආනන්තරිය කර්මයක් කිරීමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ඇසූ දුටු දේ මගුල් වශයෙන් පිරිසිදුයයි ගෙන හැරීයාමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සෙවීමට නුසුදුසුය.
මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
6. 2. 4. 10.
10. ආනන්තරිය සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
40. “මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද:
සෝවාන් පුද්ගලයා මව මැරීමට නුසුදුසුය. පියා මැරීමට නුසුදුසුය. රහතන් වහන්සේ මැරීමට නුසුදුසුය. දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීමට නුසුදුසුය. සංඝභේදය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අන්‍ය ශාස්තාාවරයකු ඇතැයි පෙන්විමට නුසුදුසුය.
මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
6. 2. 4. 11.
11. සයංකත සුඛදුක්ඛ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
41. “මහණෙනි, නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද:
“මහණෙනි. සෝවාන් පුද්ගලයා තමා විසින් කරණ ලද සුවදුක් වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. අනුන් විසින් කරණ ලද සැපදුක් වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. තමා විසින්ද, අනුන් විසින්ද කළ සැප දුක්වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. තමා විසින් නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සැප දුක් වලට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අනුන් විසින් නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සැප දුක් වලට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා තමා විසින්ද. අනුන් විසින්ද නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සුවදුක්වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. එයට හේතු කවරේද?
මහණෙනි, එසේමය. සෝවාන් පුද්ගලයා විසින් හේතුව දක්නා ලදී. හේතුවෙන් යුක්ත ධර්මයෝද දක්නා ලදී.
මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
4. සීති වර්‍ගය නිමි.
[එහි උද්දානය:]
සීතිභාව, ආවරණ, වොරොපිත, සුසූසති, අප්පහාය, පහීණ, අභබ්බ සහ අභබ්බට්ඨාන සූත්‍ර සතර ද වෙති.