6. 2. 4. 11.
11. සයංකත සුඛදුක්ඛ සූත්රය
[සැවැත් නුවර නිදානයි]
41. “මහණෙනි, නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද:
“මහණෙනි. සෝවාන් පුද්ගලයා තමා විසින් කරණ ලද සුවදුක් වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. අනුන් විසින් කරණ ලද සැපදුක් වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. තමා විසින්ද, අනුන් විසින්ද කළ සැප දුක්වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. තමා විසින් නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සැප දුක් වලට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අනුන් විසින් නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සැප දුක් වලට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා තමා විසින්ද. අනුන් විසින්ද නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සුවදුක්වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. එයට හේතු කවරේද?
මහණෙනි, එසේමය. සෝවාන් පුද්ගලයා විසින් හේතුව දක්නා ලදී. හේතුවෙන් යුක්ත ධර්මයෝද දක්නා ලදී.
මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
4. සීති වර්ගය නිමි.
[එහි උද්දානය:]
සීතිභාව, ආවරණ, වොරොපිත, සුසූසති, අප්පහාය, පහීණ, අභබ්බ සහ අභබ්බට්ඨාන සූත්ර සතර ද වෙති.
5. ආනිසංස වර්ගය
6. 2. 5. 1.
[පාතුභාව සූත්රය]
[සැවැත් නිදානයි]
42. මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය. කවර සයෙක්ද යත්?
තථාගතවූ, අර්හත්වූ සම්මා සම්බුදුන්ගේ පහළවීම ලොව දුර්ලභය. තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නාවූ තැනැත්තේ ලොව දුර්ලභය. ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභය. ඉන්ද්රියයන්ගේ අවිකලභාවය ලොව දුර්ලභය. ජඩ නොවීමද, කෙළතොලු හා ගොළු නොවීමද ලොව දුර්ලභය. පින් දහමට කැමැත්ත ලොව දුර්ලභය.
මහණෙනි, මේ සය දෙනාගේ පහළවීම ලොව දුර්ලභය.
6. 2. 5. 2.
[ආනිසංස සූත්රය]
[සැවැත් නිදානයි]
43. මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි. කවර සයෙක්ද යත්?
සද්ධර්මයට ඒකාන්තවූයේ වේද, නොපිරිහෙන ධර්ම ඇත්තේ වේද, පර්යන්තය කළහුට (සසර කෙළවර කළහුට) දුකක් නොවේද, අසමාන නුවණින් යුක්ත වේද, ඔහුට හේතුව මනාව දක්නා ලද්දේ වේද, හේතුවෙන් හටගත් ධර්මයෝද (දක්නා ලද්දාහු වෙත්ද).
මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.
6. 2. 5. 3.
[අනිච්ච සූත්රය]
[සැවැත් නිදානයි]
44. මහණෙනි, යම් භික්ෂුවක් කිසියම් සංස්කාරයක් නිත්ය වශයෙන් දක්නේ අනුලොම්වූ ඛන්තියෙන් (කැමැත්තෙන්) යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත නොවූයේ, සම්මත්තනියාමයට (නිවැරැදි ස්වභාවයට) බැස ගනීය යන මේ කාරණය නොපවතියි. සම්මත්තනියාමයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාරය අනිත්ය වශයෙන් දක්නේ අනුලොම් ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතී. අනුලොම් ඛන්තියෙන් යුක්ත වූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය පවතී. සම්මත්තනියාමයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.