6. 2. 3. 8.
8. මුසාවාදාදී ඡධම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
28. “මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.
“කවර සයෙකින්ද යත්? බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද. හිස් වචන කියන්නේ වේද, ලෝභී වේද, ආඩම්බර වේද (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.
“කවර සයෙකින්ද යත්? බොරු කීමෙන් වැලකුණේ වේද, කේලාම් කීමෙන් වැලකුණේ වේද, පරුෂ වචන කීමෙන් වැලකුණේ වේද. හිස් වචන කීමෙන් වැලකුණේ වේද, ලෝභ නැත්තේද, ආඩම්බර නැත්තේද, (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.
6. 2. 3. 9.
9. අග්ගධම්ම සච්ඡිකරණ සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
29. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම පැහැදුණේ නොවේද, පවට ලජ්ජා නැත්තේද, පවට බිය නැත්තේද, කුසීතද අනුවණද, කයෙහි ජීවිතයෙහිද බලාපොරොත්තු අධික වේද, (යනුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට සුදුසුය.
“කවර සයෙකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුව සැදැහැවත් වේද, පවට ලජ්ජා ඇත්තේද, පවට භය ඇත්තේද, පටන්ගත් වීර්ය ඇත්තේද, නුවණැත්තේද, කයෙහිද ජීවිතයෙහි බලාපොරොත්තුවක් නැත්තේද, (යනුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට සුදුසුය.
6. 2. 3. 10.
10. රත්තිත්‍දිව හානිවුද්‍ධි සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
30. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි හානිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. වැඩීම පිණිස නොවේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම වනාහි හිරිහැර ඇත්තේ, නොසතුටු වූයේ, අන්‍යවූත්, අන්‍යවූත් සිවුරු - ආහාර - සෙනසුන් - ගිලන්පස - බෙහෙත් පිරිකරවලින් විෂම කැමැත්ත ඇත්තේ වේද, සැදැහැ නැත්තේ වේද, දුශ්ශීල වූයේ වේද, කුශීතවූයේද. සිහි මුළා ඇත්තේද . අනුවණද (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි හානිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. වැඩීම පිණිස නොවේ.
“මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි වැඩීම පිණිසම කැමැති විය යුතුය. හානිය පිණිසම නොවේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම හිරිහැර නැත්තේ, සතුටු වූයේ, අන්‍යවූත්, අන්‍යවූත් සිවුරු - ආහාර - සෙනසුන් - ගිලන්පස - බෙහෙත් පිරිකරවලින් විෂම කැමැත්ත ඇත්තේ නොවේද, සැදැහැවත් වේද, සිත්වත්ද, පටන්ගත් වීර්ය ඇත්තේද, සිහිමත්ද, නැණවත්ද (යනුය.)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි වැඩීම පිණිසම කැමැති විය යුතුය. හානිය පිණිසම නොවේ.
තුන්වැනි අරහත්ත වර්ගය යි.
එහි උද්දානය:
දුක්ඛ, අරහත්ත, උත්තරිමනුස්සධම්ම, සුඛ, අධිගම, මහන්තත්ත, නිරය සූත්‍ර දෙක, අග්ගධම්ම සහ රත්තිදිවස සූත්‍රය ද වේ.