6. 2. 3. 6.
6. මහත්තපාපුණන සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
26. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්ෂුතෙම ආලෝකය බහුලකොට ඇත්තේ වේද, භාවනා යෙදීම බහුලකොට ඇත්තේ වේද, නුවණ බහුලකොට ඇත්තේ වේද, සන්තෝෂය බහුලකොට ඇත්තේ වේද, කුශල ධර්මයන්හි බහා නොතබන ලද කටයුතු ඇත්තේ වේද, මතු මත්තෙහිද ගමන් කෙරේද (යන මොහුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
6. 2. 3. 7.
7. පානාතිපාතාදී ඡධම්ම සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
27. “මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
“කවර සයකින්ද යත්? සතුන් නසන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, බොරු කියන්නේ වේද, ලාමකවූ කැමැත්ත ඇත්තේද, වැරැදි දැකීම ඇත්තේද, (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, ස්වර්ගයෙහි වේ.
“කවර සයකින්ද යත්? සතුන් නැසීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ වේද, කාම යන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, වඩා කැමැත්ත නැත්තේ වේද, නිවැරැදි දැකීම ඇත්තේ වේද, (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, ස්වර්ගයෙහි වේ.
6. 2. 3. 8.
8. මුසාවාදාදී ඡධම්ම සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
28. “මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.
“කවර සයෙකින්ද යත්? බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද. හිස් වචන කියන්නේ වේද, ලෝභී වේද, ආඩම්බර වේද (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.
“කවර සයෙකින්ද යත්? බොරු කීමෙන් වැලකුණේ වේද, කේලාම් කීමෙන් වැලකුණේ වේද, පරුෂ වචන කීමෙන් වැලකුණේ වේද. හිස් වචන කීමෙන් වැලකුණේ වේද, ලෝභ නැත්තේද, ආඩම්බර නැත්තේද, (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.
6. 2. 3. 9.
9. අග්ගධම්ම සච්ඡිකරණ සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
29. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව අග්රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්ෂුතෙම පැහැදුණේ නොවේද, පවට ලජ්ජා නැත්තේද, පවට බිය නැත්තේද, කුසීතද අනුවණද, කයෙහි ජීවිතයෙහිද බලාපොරොත්තු අධික වේද, (යනුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව අග්රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.