6. 2. 2. 6.
සමාධි සූත්‍රය
සැවැත් නුවර දී ය.
16. මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂුව ශාන්තවූ සමාධිය නැතිව, ප්‍රණීත සමාධිය නැතිව, සංසිඳීම නැතිව, සිතේ එකඟකම නැතිව -
නොයෙක් ඉර්ධි විධිය විඳියි: එකෙකු බොහෝ දෙනෙකු වන්නාහ. බොහෝ දෙනෙකු එකෙක් වන්නේය. (දීඝ නිකායේ, 3 සූත්‍රයේ, 70 ඡේදයේ, “ඉදිරිපත්කොට” යන වචනයේ සිට යොදාගත යුතුයි.) බ්‍රහ්ම ලෝකය තෙක් වසඟකොට පවත්නේයයි යන කාරණය සිදු නොවේ.
පිරිසිදුවූ, මිනිස් ගතිය ඉක්මවූ, දිව කණින්, දුරද. ලඟද යන ශබ්ද දෙක අසන්නේය යන කාරණය සිදුනොවේ.
රාග සහිත සිත, රාග සහිතයයි දන්නේය. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 72 ඡේදයේ, “රාග සහිත සිතයයි දැන ගන්නෙමි” යන්න “දැනගන්නේය” යි කියා වෙනස්කොට යොදාගත යුතුයි.) නොමිදුන සිත, නොමිදුන සිතයයි දන්නේය යන අන්‍ය සත්ත්‍වයන්ගේ. අන්‍ය පුද්ගලයන්ගේ සිතින් සිත වෙන්කොට දැනගන්නේය යන කාරණය සිදු නොවේ.
නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය. කෙසේද, එක ජාතියක්, ජාති දෙකක්, (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 74 ඡේදයේ, “එක් ජාතියක්ද” යන තැන් සිට යොදාගත යුතුයි.) ආකාර සහිත පෙර වූ සිහිකිරීම් සහිත, නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය, යන කාරණය සිදු නොවේ.
මිනිස් ගතිය ඉක්මවූ දිවැසින් සත්ත්‍වයන් බලත්. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 75 ඡේදයේ, “හේ නොයෙක් පෙර විසීම් සහිත” යන තැන් සිට යොදාගත යුතුයි.) කර්‍මය පරිදි පැමිණෙන සත්ත්‍වයන් දැනගන්නේය යන කාරණය සිදු නොවේ.
ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රවයන් නැති (අඞ්ගුත්තර නිකායේ, 2 පණ්ණාසකයේ, පඤ්චඞ්ගික සමාධි සූත්‍රයේ, අග කොටස යෙදිය යුතුයි. 793 පිට) ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය යන කාරණය සිදු නොවේ.
මහණෙනි, ඒ භික්‍ෂුව ශාන්තවූ සමාධියෙන් ප්‍රණීත සමාධියෙන් සංසිඳීමෙන් සිතේ එකඟකමින් යුක්තව -
නොයෙක් ඉර්ධි විධිය විඳියි. බොහෝ දෙනෙකු වන්නාහ. බොහෝ දෙනෙකු එකෙක් වන්නේය. (දීඝ නිකායේ, 3 සූත්‍රයේ, 70 ඡේදයේ, “ඉදිරිපත්කොට” යන වචනයේ සිට යොදාගත යුතුයි.) බ්‍රහ්ම ලෝකය තෙක් වසඟකොට පවත්නේ බ්‍රහ්මලෝකය තෙක් කයින් වසඟතොට පවත්නේය යන කාරණය සිදුවෙයි.
මිනිස් ගතිය ඉක්මෙව්වාවූ. පිරිසිදුවූ දිව කණින්. දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලංවූද, ශබ්ද දෙක අසන්නේය යන කාරණය සිදුවෙයි.
රාග සහිත සිත, රාග සහිතයයි දන්නේය. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 72 ඡේදයේ, “රාග සහිත සිතයයි දැන ගන්නෙමි” යන්න “දැනගන්නේය” යි කියා වෙනස්කොට යොදාගත යුතුයි.) නොමිදුන සිත, නොමිදුන සිතයයි දන්නේය. අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිතින් සිත වෙන්කොට දැනගන්නේය යන කාරණය විද්‍යමාන වෙයි.
නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය. කෙසේද? එක ජාතියක්, ජාති දෙකක්. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 74 ඡේදයේ, “එක් ජාතියක්ද” යන තැන් සිට යොදාගත යුතුයි.) ආකාර සහිත පෙරටුවූ නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය, යන කාරණය සිදු වේ.
මිනිස් ගතිය ඉක්මවූ, පිරිසිදු දිවැසින් සත්ත්‍වයන් දකින්නේය. චුතවෙන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීත වූද, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, යහපත් ගති ඇත්තාවූද, නපුරු ගති ඇත්තාවූද. කර්මය පරිද්දෙන් පැමිණෙන්නාවූ සත්ත්‍වයන් දන්නේය යන කාරණය සිදුවේ.
ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව නැති සිතේ මිදීම ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය යන කාරණය සිදු වෙයි.
6. 2. 2. 7.
සක්ඛිභබ්බ සූත්‍රය
සැවැත් නුවර දී ය.
17. මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව අභව්‍ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්‍යභාවයට පැමිණීමට හැකියාවක් නැත. කවර සයකින්ද යත්:
මේ ශාසනයෙහි භික්‍ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්‍මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ සම තත්ත්‍වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ දියුණුව ඇතිකරණ ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, සකස් නොවූ කටයුතු ඇත්තේ වේද, අහිතවත් දෙය කරන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සයකින් යුක්ත භික්‍ෂුව අභව්‍ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්‍යභාවයට පැමිණීමට හැකියාවක් නැත.
මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව භව්‍ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්‍යභාවයට පැමිණිය හැකිය. කවර සයකින්ද:
මේ ශාසනයෙහි භික්‍ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්‍මයෝයයි තත්වූ පරිදි දනීද, මේ සම තත්ත්‍වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ උසස් තත්ත්‍වයක් ඇතිකරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, සකස්ව කරණ කටයුතු ඇත්තේද, හිතවත් දෙය කරන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සයකින් යුක්ත භික්‍ෂුව භව්‍ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්‍යභාවයට පැමිණිය හැකිය.