6. 2. 2. 7.
සක්ඛිභබ්බ සූත්රය
සැවැත් නුවර දී ය.
17. මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව අභව්ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්යභාවයට පැමිණීමට හැකියාවක් නැත. කවර සයකින්ද යත්:
මේ ශාසනයෙහි භික්ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ සම තත්ත්වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ දියුණුව ඇතිකරණ ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, සකස් නොවූ කටයුතු ඇත්තේ වේද, අහිතවත් දෙය කරන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සයකින් යුක්ත භික්ෂුව අභව්ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්යභාවයට පැමිණීමට හැකියාවක් නැත.
මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව භව්ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්යභාවයට පැමිණිය හැකිය. කවර සයකින්ද:
මේ ශාසනයෙහි භික්ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, මේ සම තත්ත්වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ උසස් තත්ත්වයක් ඇතිකරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, සකස්ව කරණ කටයුතු ඇත්තේද, හිතවත් දෙය කරන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සයකින් යුක්ත භික්ෂුව භව්ය වූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සාක්ෂ්යභාවයට පැමිණිය හැකිය.
6. 2. 2. 8.
බල සූත්රය
සැවැත් නුවර දී ය.
18. මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණීමට නුසුදුසුය. කවර සයකින්ද:
මේ ශාසනයෙහි භික්ෂුව සමාධියට සමවැදීමේ දක්ෂ නොවේද, සමාධිය සම තත්ත්වයක තබාගැනීමේ දක්ෂ නොවේද, සමාධියෙන් නැගිටීමේ දක්ෂ නොවේද, සකස්ව කටයුතු නොකරන්නේ වේද, මිහිරිදෙය නොකරන්නේ වේද, හිතවත් දෙය නොකරන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සයකින් යුක්ත භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණීමට නුසුදුසුය.
මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්ත භික්ෂුව සමාධියෙහි බලයට පැමිණීමට සුදුසුය. කවර සයකින්ද:
මේ ශාසනයෙහි භික්ෂුව සමාධියට සමවැදීමේ දක්ෂ වේද, සමාධිය සම තත්ත්වයක තබාගැනීමේ දක්ෂ වේද, සමාධියෙන් නැගිටීමේ දක්ෂ වේද, සකස්ව කටයුතු කරන්නේ වේද, මිහිරිදෙය කරන්නේ වේද, හිතවත් දෙය කරන්නේ වේද.
මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්ත භික්ෂුව සමාධියෙහි බලයට පැමිණීමට සුදුසුය.
6. 2. 2. 9.
පඨමජ්ඣාන සූත්රය
සැවැත් නුවර දී ය.
19. මහණෙනි, කරුණු සයක් දුරු නොකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය. කවර සයක්ද:
පංච කාමයන්ට ඇති ආශාව, නපුරු අදහසය, සිතේ හා කයේ මැලිගතිය, සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේට පසුතැවීම, සැකය, කාමයන්හි ආදීනවයන් සුදුසු පරිදි මනා නුවණින් නොදැකීම.
මහණෙනි, මේ කරුණු සය දුරු නොකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
මහණෙනි, කරුණු සයක් දුරුකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ. කවර සයක්ද:
පංච කාමයන්ට ඇති ආශාව, නපුරු අදහසය, සිතේ හා කයේ මැලිගතිය, සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේට පසුතැවීම, සැකය, කාමයන්හි ආදීනවයන් සුදුසු පරිදි මනා නුවණින් දැකීම.
මහණෙනි, මේ කරුණු සය දුරුකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.