6. 2. 2. 10.
දුතිය පඨමජ්ඣාන සූත්රය
සැවැත් නුවර දී ය.
20. මහණෙනි, කරුණු සයක් දුරුනොකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය. කවර සයක්ද:
කාමයන් ගැන කල්පනා කිරීම, නපුරු අදහස් කල්පනා කිරිම, හිංසා කිරීමේ අදහස් කල්පනා කිරිම, කාම සංඥාව, ව්යාපාද සංඥාව. විහිංසා සංඥාව.
මහණෙනි, මේ කරුණු සය දුරු නොකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
මහණෙනි, ධර්ම සයක් දුරුකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ. කවර සයක්ද:
කාමයන් ගැන කල්පනා කිරීම, නපුරු අදහස් කල්පනා කිරිම, හිංසා කිරීමේ අදහස් කල්පනා කිරිම, කාම සංඥාව, ව්යාපාද සංඥාව. විහිංසා සංඥාව.
මහණෙනි, මේ ධර්ම සය දුරුකොට පළමුවන ධ්යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
අනාගාමී වර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
අනාගාමී, අරහං, මිත්ත, සඞ්ගණිකාරාම, දෙවතා, සමාධි, සක්ඛිභබ්බ, බල සහ ඣාන දෙක යයි මෙහි සූත්ර දසයකි.
3. අරහත්ත වර්ගය
6. 2. 3. 1.
1. දිඨධම්ම විහරණ සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
21. “මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.
“කවර සයෙකින්ද යත්? කාම සිතුවිල්ලෙන්, නපුරු සිතුවිල්ලෙන්, හිංසා සිතුවිල්ලෙන්, කාම වැටහීමෙන්, නපුරු වැටහීමෙන්, හිංසා වැටහීමෙන්ය.
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.
“මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු වියයුතු වෙයි.
“කවර සයෙකින්ද යත්? කාමයෙන් නික්මීමේ සිතුවිල්ල, නපුරු නැති සිතුවිල්ල, හිංසා නැති සිතුවිල්ල, කාමයෙන් නික්මීමේ වැටහීම, නපුරු නැති වැටහීම, හිංසා නැති වැටහීම.
මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු වියයුතු වෙයි.
6. 2. 3. 2.
2. අරහන්තසච්චිකරණ සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
22. “මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව අත්කිරීමට නොහැකිය.
“කවර සයක්ද යත්? මානය, අවමානය, අතිමානය, අධිමානය. තදගතිය, තද නිවටකමයි.
මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව අත්කිරීමට නොහැකිය.
මහණෙනි, කරුණු සයක් හැර දමා රහත්බව අත්කිරීමට හැකි වෙයි. කවර සයක්ද යත්?
මානය, අවමානය, අතිමානය, අධිමානය. තදගතිය, තද නිවටකමයි.
මහණෙනි, මේ කරුණු සය හැර දමා රහත්බව අත්කිරීමට හැකි වෙයි.