6. 2. 1. 7.
මෙත්ත්යයපඤ්හ සූත්රය [මජ්ඣෙසුත්තං]
7. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ, කවාකාර මලුවෙහි රැස්වූ, බොහෝ ස්ථවිර භික්ෂූන් වහන්සේලා අතර මේ අතුරු කථාවක් පහළ විය. “භාග්යවතුන් වහන්සේ විසින් පාරායන සූත්රයෙහි මෙත්තෙය්ය ප්රශ්නයෙහි:
“යමෙක් තෙම ස්පර්ශය හා ස්පර්ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.”
“ඇවැත්නි, එක් අන්තයක් කවරේද? දෙවන අන්තය කවරේද? මධ්යය කුමක්ද? “සිබ්බනි” නම් තෘෂ්ණාව කවරීද?”
(1) මෙසේ කී කල්හි එක්තරා භික්ෂු නමක් ස්ථවිර භික්ෂූන්ට මෙය කීවේය. “ඇවැත්නි, ස්පර්ශය එක් අන්තයකි. ස්පර්ශය ඇතිවීමේ හේතුව අනික් අන්තයයි. ස්පර්ශ නිරෝධය මධ්යයයි. සිබ්බනි නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව හි ඒ ඒ භවයේ ඉපදීම ඇතිකරමින් එය මසයි. ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි. දැනගතයුත්ත දැනගන්නේ, විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගන්නේ, මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
(2) මෙසේ කී කල එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, අතීතය එක් අන්තයක, අනාගතය දෙවෙනි අන්තයයි. පවත්නා කාලය මධ්යයයි, සිබ්බනි නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව හි ඒ ඒ භවයේ ඉපදීම ඇතිකරමින් එය මසයි. ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව දැනගතයුත්ත දැනගනියි, විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි. දැනගතයුත්ත දැනගන්නේ, විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගන්නේ, මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
(3) මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සුඛ වේදනාව එක් අන්තයක, දුක් වේදනාව දෙවෙනි අන්තයයි. අදුක්ඛවූද, අසුඛවූද වේදනාව මධ්යයයි, සිබ්බනි නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව හි ඒ ඒ භවයේ ඉපදීම ඇතිකරමින් එය මසයි. ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව දැනගතයුත්ත දැනගනියි. -පෙ- මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
(4) මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, නාමය එක් අන්තයක, රූපය දෙවෙනි අන්තයයි. විඤ්ඤාණය මධ්යයයි, සිබ්බනි නම් තෘෂ්ණාවය. -පෙ- මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
(5) මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සවැදෑරුම් අධ්යාත්මික ආයතනයෝ එක් අන්තයක, බාහිරවූ සවැදෑරුම් ආයතනයෝ අනික් අන්තයයි. විඤ්ඤාණය මධ්යයයි, සිබ්බනි නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව හි ඒ ඒ භවයේ ඉපදීම ඇතිකරමින් එය මසයි. ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව දැනගතයුත්ත දැනගනියි. -පෙ- මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
(6) මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සක්කාය (ආත්ම දෘෂ්ටිය) එක් අන්තයකි, සක්කාය සමුදය දෙවෙනි අන්තයයි. සක්කාය නිරෝධය මධ්යයයි, සිබ්බනි නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව හි ඒ ඒ භවයේ ඉපදීම ඇතිකරමින් එය මසයි. ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව දැනගතයුත්ත දැනගනියි. පරිඥෙය්යය පිරිසිඳ දනියි. අභිඥෙය්යය අභිජානනය කරමින් පරිඥෙය්යය පිරිසිඳ දනිමින් මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
මෙසේ කී කල්හි එක්තරා භික්ෂු නමක් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, අප විසින් තම තමන්ගේ වැටහීම ප්රකාශ කරණ ලදී. එමු ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පිවිසෙන්නෙමු. එසේ පිවිස භාග්යවතුන් වහන්සේට මෙය දන්වන්නෙමු. යම්සේ අපට භාග්යවතුන් වහන්සේ ප්රකාශ කෙරේද, එසේ අපි දරන්නෙමු.” -- “එසේය, ඇවැත්නි,” යි ස්ථවිර භික්ෂූහු ඒ භික්ෂුවට උත්තර දුන්හ.
ඉක්බිති ඒ ස්ථවිර භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. එකත්පසෙක සිටියාවූ, ස්ථවිර භික්ෂූහු යම්තාක් ඔවුනොවුන් සමගවූ කථා සල්ලාපයක් ඇද්ද, ඒ සියල්ල භාග්යවතුන් වහන්සේට දැන්වූහ. “ස්වාමීනි, කාගේ අදහස යහපත්ද?”
“මහණෙනි, යුෂ්මතුන් සියල්ලන්ගේම අදහස් යහපති. එසේ නමුදු මා විසින් යමක් සඳහා පාරායන සූත්රයෙහි මෙත්තෙය්ය ප්රශ්නයෙහි වදාරන ලද්දේද:
“යමෙක් තෙම ස්පර්ශය හා ස්පර්ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.” යනුයි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. ප්රකාශ කරන්නෙමි.”
“එසේය, ස්වාමීනි,” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය ප්රකාශ කළ සේක.
“මහණෙනි, ස්පර්ශය එක් අන්තයකි. ස්පර්ශ සමුදය දෙවන අන්තයයි. ස්පර්ශ නිරෝධය මධ්යයයි. සිබ්බනි නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව හි ඒ ඒ භවයේ ඉපදීම ඇතිකරමින් එය මසයි. මහණෙනි, මෙපමණකින් භික්ෂුව දැනගතයුත්ත දැනගනියි. පරිඥෙය්යය පිරිසිඳ දනියි. අභිඥෙය්යය අභිජානනය කරමින් පරිඥෙය්යය පිරිසිඳ දනිමින් මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”