6. 2. 1. 8.
පුරිසින්ද්රියඤාණ සූත්රය [දණ්ඩකප්ප සූත්රය]
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ මහත් භික්ෂු සමූහයා හා කොසල දනව්වෙහි සැරිසරණ සේක් කොසල වැස්සන්ගේ දණ්ඩකප්ප නම් නියම්ගමෙහි විසූහ. ඉක්බිත්තෙන් වනාහි භාග්යවතුන් වහන්සේ මගින් පහව එක්තරා ගසක් මුල පැනවූ අස්නෙහි වැඩ හුන්හ. ඒ භික්ෂූහුද සෙනසුන් සෙවීමට දණ්ඩකප්පයට ඇතුළුවූහ.
ඉක්බිති වනාහි ආයුෂ්මත් ආනන්ද තෙමේ බොහෝ භික්ෂූන් සමග ඇඟ සේදීමට අචිරවතී නදියට පැමිණියේය. අචිරවතියෙහි ඇඟ සෝදා ගොඩවී ඇඟ වියළන්නේ, එක සිවුරින් සිටියේය.
ඉක්බිති එක්තරා භික්ෂුවක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙසේ කීවේය:
“කිං නු ඛො ඇවැත් ආනන්දය, භාග්යවතුන් වහන්සේ ‘දෙවදත්ත අපායගතය. කල්පයක් පැසෙයි. පිළියම් නොකළ හැක්කේය’ යි සියල්ල සිතින් තීරණයකොට ප්රකාශ කෙළේද? නැතහොත් කිසියම් ප්රකාරයෙකින්ද?’
“ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි මේ කාරණය ප්රකාශ කරන ලද්දේය.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙම භාග්යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය.
“ස්වාමීනි, මම මෙහි අචිරවතී නදියට බොහෝ භික්ෂූන් සමග ඇඟ සේදීමට ගියෙමි. අචිරවතී නදියෙහි ඇඟ සෝදා, ගොඩනැගී, ඇඟ වේළමින් එක සිවුරින් සිටියෙමි. ඉක්බිති වනාහි එක්තරා භික්ෂුවක් මා කරා අවුත් මට මෙය කීය:
“කිං නු ඛො ඇවැත් ආනන්දය, භාග්යවතුන් වහන්සේ ‘දෙවදත්ත අපායගතය. කල්පයක් පැසෙයි. පිළියම් නොකළ හැක්කේය’ යි සියල්ල සිතින් තීරණයකොට ප්රකාශ කෙළේද? නැතහොත් කිසියම් ප්රකාරයෙකින්ද?’ මෙසේ කී කල්හි, ස්වාමීනි මම ඒ භික්ෂුහට මෙය කීමි. ‘ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි මේ කාරණය ප්රකාශ කරන ලද්දේය’ කියායි.”
“ආනන්දය, ඒ භික්ෂුතෙම අලුත පැවිදිවූ නවකයෙක් හෝ වේ. ස්ථවිරවූවෙක් නම් බාලවූ අදක්ෂයෙකි. කෙසේ නම් මා විසින් ඒකාන්තයෙන් ප්රකාශ කරන ලද්දක් ගැන දෙආකාරයකට සිතාද? ආනන්දය, දේවදත්ත යම් සේ මා විසින් සියල්ල සිතින්ම තීරණයකොට ප්රකාශ කරණ ලද්දේද, එබඳු අන් එකම පුද්ගලයෙකු හෝ මම නොදනිමි. ආනන්දය, මම යම්තාක් දෙවදත්තගේ ලෝම තුඩක් පමණවූ හෝ කුශල ධර්මයක් දුටුයෙම්ද, ඒ තාක් මම ‘දෙවදත්ත තෙමේ අපායගතය. කල්පයක් පැසෙන්නේය. පිළියම් නොකළ හැක්කේය’යි දෙවදත්ත ගැන ප්රකාශයක් නොකළෙමි. ආනන්දය, යම් තැනකින් පටන් මම දෙවදත්තගේ ලෝම තුඩක් පමණවූ හෝ කුශල ධර්මයක් නොදුටුයෙම්ද, ඉක්බිති මම ‘දෙවදත්ත තෙමේ අපායගතය. කල්පයක් පැසෙන්නේය. පිළියම් නොකළ හැක්කේය’යි දෙවදත්ත ගැන ප්රකාශ කළෙමි.
“ආනන්දය, යම්සේ පුරුෂ ප්රමාණයට වැඩි ගැට්ට තෙක්වූ, අශූචියෙන් පිරුණු, අශූචි වළක් වේද, එහි පුරුෂයෙක් තෙම හිස සහිතවම කිඳුනේ වේද, කිසියම් පුරුෂයෙක් තෙම ඔහුට වැඩ කැමැත්තේ, හිත කැමැත්තේ, බැඳුම්වලින් නිදහස්වීම කැමැත්තේ, ඒ අශූචි වළෙන් උඩ නගනු කැමැත්තේ, හෙතෙම ඒ ගූථ කූපය වටා කැරකෙන්නේ, ඒ පුරුෂයාගේ ලොම් අගක් පමණකුදු අශූචි නොගෑවණු තැනක් නොදකින්නේ නම්, කොතැනින් අල්ලාගෙන උඩ නගන්නේද? ආනන්දය, එසේම මම වනාහි යම් තැනෙක පටන් දෙව්දත්හුගේ ලොම් අගක් පමණ හෝ කුශල ධර්මයක් නොදුටුයෙම්ද, එතැන් පටන් මම දේවදත්ත තෙමේ අපායගතය. කල්පයක් පැසෙන්නේය. පිළියම් නොකට හැක්කේයයි දෙවදත්ත ගැන ප්රකාශ කෙළෙමි.
“ආනන්දය, ඉදින් තෙපි පුරුෂෙන්ද්රිය ඥානයන් බෙදා දක්වන්නාවූ තථාගතයන්ට ඇහුම්කන් දෙව්ද, ඊට මේ කාලයයි. සුගතයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ යම් හෙයකින් පුරුෂෙන්ද්රිය ඥානයන් බෙදා දක්වන්නේනම් භික්ෂූහු එය අසා දරත්ද, ඊට මේ කාලයයි.” “ආනන්දය, එසේ වී නම් අසව. මනාව මෙනෙහි කරව. කියන්නෙමි” -- “එසේය, ස්වාමීනි.” යි ආනන්ද තෙමේ භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
(1) “ආනන්දය, මේ පුද්ගලයාට කුශල ධර්මයෝද අකුශල ධර්මයෝද පවතිත්යයි මෙසේ මම ඇතැම් පුද්ගලයෙකු සිතින් සිත පතුරුවා දනිමි. අනෙක් විටෙක මේ පුද්ගලයාට කුශල ධර්ම අතුරුදහන් විය. අකුශල ධර්ම සම්මුඛ වීයයිද ඔහුට කුසල් මුල් නොසිඳුණු ඇසක් ඇත. එබැවින් ඔහුට ඒ කුසල් මුලින් කුසල් පහළවන්නේය. මෙසේ මේ පුද්ගලතෙමේ මත්තෙහි නොපිරිහෙන ධර්ම ඇත්තෙක් වන්නේයයි මෙසේ මම ඒ මේ තැනැත්තා සිතින් සිත පතුරුවා මනාව දනිමි.
“ආනන්දය, යම් සේ නොකැඩුණු, කුණුනොවූ, අව් සුළං නොවැදුණු, හර ගෙන දෙන. හොඳ කුඹුරක. හොඳට වැටුණු, හොඳට පිළියෙළවුණු, බිම බහන ලද බීජයෝ වෙත්ද. මේ බීජයෝ වැඩීමට, පැළවීමට, විශාල බවට පැමිණෙත්යයි ආනන්ද ඔබ දන්නෙහිය” -- “ස්වාමීනි, එසේය.”