6. 2. 1. 2.
[ඵග්ගුණ සූත්රය]
[සාවත්ථි නිදානය]
2. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
“ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ අනුකම්පා කොට ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, යම් තැනකද, එතැනට පැමිණෙන සේක්වා.” භාග්යවතුන් වහන්සේ කිසිවක් නොවැදෑරීමෙන් එය ඉවසූ සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, යම් තැනකද එතැන්හි එළඹි සේක. භාග්යවතුන් වහන්සේ වඩින බව දුරදීම ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, දැක්කේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ: “ඵග්ගුණය, ඔබ ඇඳෙන් නැගිටීම යුතු නැත. කලින් පැනවූ මේ ආසනයෝ ඇත්තාහ. මම එහි හිඳගන්නෙමි.” පැනවූ අස්නෙහි භාග්යවතුන් වහන්සේ වැඩ සිටි සේක. වැඩ හිඳ, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ:
“ඵග්ගුණය, කිම ඔබ රුචි කරණ දේ මොනවාද? යැපියයුතු දේ කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙමින් පවතිත්ද? වැඩි වෙමින් පවතිත්ද? අඩුවෙන බවක් පෙනේද? වැඩිවෙන බවක් පෙනේද?”
“ස්වාමීනි, කිසිවක් රුචි නොවේ. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ.
ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු උලකින් හිස කළඹාද, එමෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ හිසට පීඩා කරත්. ස්වාමීනි, මට රුචි දෙයක් නැත, යැපියයුතු කිසිවක් නොවේ, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙති, වැඩිවන බව පෙනේ, අඩුවන බව නොපෙනේ.
ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිස වෙලන්නේද, ස්වාමීනි, එමෙන්ම මාගේ හිසෙහි දැඩිවූ හිසරදය පවතියි. ස්වාමීනි, මට රුචි දෙයක් නැත... -පෙ- වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ.
ස්වාමීනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ තියුණු පිහියකින් බඩ කපන්නේද, එපරිද්දෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ කුසට වේදනා දෙත්. ස්වාමීනි, මට රුචි දෙයක් නැත... -පෙ- වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ.
ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෝ ඉතා දුර්වල පුරුෂයකු අත්වලින් අල්ලා ගිනි අඟුරු වලක රත් කරවත්ද, එපරිද්දෙන්ම ස්වාමීනි, මාගේ ශරීරයෙහි බලවත් දැවිල්ලක් වෙයි. ස්වාමීනි, මට රුචි දෙයක් නැත, යැපියයුතු කිසිවක් නොවේ, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙති, වැඩිවන බව පෙනේ, අඩුවන බව නොපෙනේ.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට දැහැමි කථාවන් දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා අස්නෙන් නැගිට වැඩි සේක.
ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින් කාලක්රියා කළහ. උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්ද්රියයෝ මනාසේ දැකුම්කලුව තිබුනාහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින්ම කාලක්රියා කළහ. උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්ද්රියයෝ දැකුම්කලුව තිබුනාහ.”
“කිමෙක්ද? ආනන්දය, ඵග්ගුණ භික්ෂුවගේ ඉන්ද්රියයෝ පැහැදී නොතිබෙද්ද? ආනන්දය, ඵග්ගුණ භික්ෂුවගේ සිත පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් (පෙර) නොමිදී තිබුණි. ඒ ධර්ම දේශනාව අසා ඔහුගේ සිත පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් මිදුනේය.