6. 2. 1. 1.
[සොණ සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ රජගහනුවර සීත වනයෙහි වෙසෙයි.
ඉක්බිති වනාහි රහසිගතවූ, විවේක සහිතවූ, ආයුෂ්මත් සෝණ හට මෙබඳු සිතේ කල්පනාවක් පහළ විය: “භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ සිතින් ආයුෂ්මත් සෝණගේ සිතෙහිවූ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම ගිජුකුළු පව්වෙන් අතුරුදහන්ව සීත වනයෙහි ආයුෂ්මත් සෝණ ඉදිරියේ පහළවූ සේක. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නේ වැඩහුන් සේක. ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සෝණහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය:
“සෝණය, රහසිගතව, විවේකීව සිටි තොපගේ සිතට මෙබදු කල්පනාවක් වූයේ නොවේද? ‘භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි.”
“එසේය, ස්වාමීනි.”
“සෝණය, ඒ කුමකැයි සිතන්නෙහිද? පෙර ඔබ ගිහිගෙයි සිටියදී වීණාවෙහි තත් වැයීමෙහි දක්‍ෂ නොවේද?”
“එසේය, ස්වාමීනි.”
“සෝණය, ඒ කුමකැයි සිතහිද? යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා දිග (තද) නම් එවිට ඔබේ වීණාව හොඳට නද දේද, වැඩට සුදුසු වේද?”
“ස්වාමීනි, නොවේමය.”
“සෝණය, යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා බුරුල්වූවා, කිම ඔබේ වීණාව එවිට හොඳට නද දේද, වැඩට සුදුසු වේද?” යි ඇසූ කල්හි, “ස්වාමීනි, නොවේමය.”
“සෝණය, යම් විටෙක වීණාවේ තත් ඉතා දිග නොවේද, ඉතා බුරුල් නොවේද, සම ගුණයෙහි සිටියේ වේද, ඔබේ වීණාව එවිට කිම, හොඳට නද දේද, වැඩට සුදුසු වේද?”
“එසේය, ස්වාමීනි.”
“එසේම සෝණය, වැඩියෙන් පටන්ගත් වීර්යය සිතේ නොසන්සුන්කම පිණිස පවතී. ඉතා හැකුලුන වීර්යය අලසකම පිණිස පවතී. සෝණය, එබැවින් ඔබ මෙහිදී වීර්යයේ සමවතෙහි පිහිටව. වීර්යාදී ඉඳුරන්ගේ සම බව තේරුම් ගනුව. එහිදු අරමුණ ගනුව.”
“එසේය, ස්වාමීනි,” යි ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණහට මේ අවවාදයෙන් අවවාද දී යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම සීත වනයෙන් අතුරුදන්ව ගිජුකුළු පව්වෙහි පහළවූ සේක.
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ පසු කාලයේ වීර්ය සමභාවයෙහි පිහිටියේය. ඉඳුරන්ගේ සමභාවය තේරුම් ගත්තේය. එහිදු අරමුණ ගත්තේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණ තෙමේ හුදකලා වූයේ, තනි වූයේ, නොපමා වූයේ, කෙළෙස් තැවීම කරන්නේ, නිවන් වෙත යොමු කළ සිත් ඇතිව වසන්නේ, නොබෝ කලකින්ම, යමක් පිණිස කුලපුත්තු ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඉතා උතුම් බඹසර අවසන්කොට ඇති, ඒ නිවණ මේ ආත්මයේම තෙමේ මනාව දැන, අත්දැක, පැමිණ වාසය කෙළේය. ‘උත්පත්තිය ගෙවුණේය. බඹසර වැස නිමවිය. කළයුත්ත කරණ ලදී. මෙලොවෙහි කළයුතු අනිකක් නැතැයි’ දැනගත්තේය. ආයුෂ්මත් සෝණ තෙමේ රහතුන් අතර එක් තැනැත්තෙක් විය.
ඉක්බිති රහත්වූ සෝණහට මෙබඳු සිතෙක් විය: ‘මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් රහත් භාවය පවසන්නේ නම් මැනවැ’ යි. ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය:
“ස්වාමීනි, රහත්වූ, පව් ගෙවූ, බඹසර වැස නිමවූ, කළයුත්ත කළ, බර බිම තැබූ, සිය වැඩ සම්පූර්‍ණවූ, හොඳින් දැන මිදුණාවූ යම් මේ භික්‍ෂුවක් වේද, හෙතෙම කරුණු සයෙහි අධික ලෙස ඇළුනේ වේ: නෛෂ්ක්‍රම්‍යයෙහි අධික ලෙස ඇළුනේ වෙයි. තද විවේකයෙහි (පවිවෙක) අධික ලෙස ඇළුනේ වෙයි. අහිංසා (අව්‍යාපාද) යෙහි අධික ලෙස ඇළුනේ වෙයි. තණ්හා නැති කිරීමෙහි අධික ලෙස ඇළුනේ වෙයි. උපාදාන ක්‍ෂය කිරීමෙහි අධික ලෙස ඇළුනේ වෙයි. මුළා නොවීමෙහි (අසම්මෝහ) අධික ලෙස ඇළුනේ වෙයි.
(1) ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි: ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.