6. 1. 4. 6.
6. විවාද මූලක ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
36. “මහණෙනි, මේ විවාදයට මුල් සයක් වෙත්. “කිනම් සයක්ද යත් ?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ. “මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම)සස’ ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයිද හෙතෙම යම් විවාදයක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, අහිත පිණිස, දෙවි මිනිසුන්ට දුක් පිණිස සංඝයා අතරෙහි විවාද උපදවයි. “මහණෙනි, තොප විසින් මෙබඳු විවාදයකට මුල් කරුණු ඇතුලත හෝ පිටත දක්නහුද, මහණෙනි, එහිදී තොප විසින් ඒ පවිටු විවාදයට මුල් කරුණු නැතිකිරීම පිණිස වෑයම් කරව්. මහණෙනි, ඉදින් තොප විසින් මෙබඳු විවාදයන්ට මුල්වූ කරුණු ඇතුළත හෝ පිටත හෝ නොදක්නහු නම්, මහණෙනි, තොප විසින් එහිදී ඒ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමක විවාදයට මුල ප්‍රහීණවීම වේ. මෙසේ මේ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස වේ.
“නැවතද මහණතෙම ගුණමකු වේද, යුග ග්‍රාහයෙන් යුක්තද, ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. “නැවතද මහණතෙම ඊර්‍ෂ්‍යාකරයිද, මසුරුවේද, කෛරාටිකවේද, මායාවෙන් යුක්තද, පවිටු අදහස් ඇත්තේද, අයහපත් දෘෂ්ටි ඇත්තේද, තම අදහසම අල්වා ගත්තේ වේද, දුරු නොකරන්නේද, බැහැරලීමට නොකැමැති වේද, හෙතෙම ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.
මහණෙනි, මේ වනාහි විවාදයට මුල් සයයි.
6. 1. 4. 7.
7. නන්‍දමාතු දක්ඛිණ සූත්‍රය
37. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජාකළ ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි වෙළුකණඨකී නන්‍ද මාතා උපාසිකාව සැරියුත් මුගලන් ප්‍රධාන භික්‍ෂු සංඝයා කෙරෙහි අඞ්ග සයකින් යුත් දනක් දෙයි.
භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිදුවූ දිවැසින් වෙළුකණඨකී නන්‍ද මාතාව සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන භික්‍ෂු සංඝයාට අඞ්ග සයකින් යුත් දනක් දෙන්නීය දුටු සේක. දැක භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, මේ වෙළුකණඨකී නන්‍ද මාතාවවූ උපාසිකා තොමෝ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන භික්‍ෂු සංඝයා කෙරෙහි අඞ්ග සයකින් යුත් දනක් දෙයි.”
මහණෙනි, දානය කෙසේ නම් අඞ්ග සයකින් යුක්ත වේද :
මහණෙනි, මේ ශාසනයෙහි දායකයාට අඞ්ග තුනක් වෙත්. ප්‍රතිග්‍රාහකයන්ට අඞ්ග තුනක් වෙත්.
දායකයාගේ අඞ්ග තුන කවරේද ?
“මහණෙනි, මේ ශාසනයෙහි දායක තෙම දන් දීමට පූර්‍වයෙන් සතුටු සිත් ඇත්තේ වේද, දෙමින් සිත පහදවයිද, දී සතුටු සිත් ඇත්තේ වේද, මේ දායකයාගේ අඞ්ග තුනයි.
ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුන කවරේද ?
මහණෙනි, මේ ශාසනයෙහි ප්‍රතිග්‍රාහකතෙම පහකළ රාග ඇත්තේ හෝ වෙත්ද, රාගය පහකිරීම පිණිස පටන් ගත්තාහු හෝ වෙත්ද, පහකළ ද්වේෂ ඇත්තෝ හෝ වෙත්ද, ද්වේෂය පහකිරීම පිණිස පටන් ගත්තාහු හෝ වෙත්ද, පහකළ මුළාව ඇත්තාහු වෙත්ද, මුළාව පහකිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුන වෙත්.
මේ දායකයාගේ අඞ්ග තුනද, ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුනද වෙත්. මහණෙනි, මෙසේ වනාහි දානය අඞ්ග සයකින් යුක්ත වේ.
“මහණෙනි, මෙසේ අඞ්ග හයකින් යුත් දානයාගේ මෙලොව සැප ගෙන දෙන, මතු සැප පිණිස පවතින, සැප විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවතින, මෙපමණ පින් රැස්වීමක්, මෙපමණ කුසල් රැස්වීමක්, යහපත් බවට, කාන්ත බවට, මන මැඩීමට හිත පිණිස, සැප පිණිස පවතිත්යයි පිනේ ප්‍රමාණයක් කිරීමට පහසු නොවේ. තවද, ගණන්කළ නොහැකි, ප්‍රමාණකළ නොහැකි මහත් පින් රාශියකැයි ගණනට යයි.
“මහණෙනි, යම්සේ මහා සමුද්‍රයෙහි මෙපමණ දිය ලාස් ගණනකැයි කියාද, මෙපමණ දිය ලාස් සියයකැයිද, මෙපමණ දිය ලාස් දහසකැයිද, මෙපමණ දිය ලාස් ලක්‍ෂයකැයිද, දියෙහි ප්‍රමාණයක් කිරීමට නොහැකි වේ. තවද, ගණන් කළ නොහැකි, ප්‍රමාණ කළ නොහැකි මහ දිය රාශියකැයි ගණනට යයි.