9. 1. 4. 12.
[නාගිත සුත්තං]
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නේ ඉච්ඡානඞ්ගල නම් කොසොල් රටවාසීන්ගේ බමුණුගමක් වේද, එහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කරණ සේක.
ඉච්ඡානඞ්ගල වාසී බමුණු ගෘහපතියෝ “ශාක්‍යපුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් මහණවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩියේ ඉච්ඡානඞ්ගල ගමෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කෙරෙත්” යයි ඇසුවාහුය. “ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කල්‍යාණ කීර්ති රාවයක් උස්ව නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය... (පෙ) ... බුද්‍ධය, භාග්‍යවත්ය” යි. “උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත... (පෙ) ... මෙබඳු රහතන්ගේ දැක්ම සාධු වන්නේය” කියායි.
ඉක්බිති ඉච්ඡානඞ්ගලිකවූ බමුණු ගැහැවියෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් බොහෝ කෑ යුතු, බුදිය යුතු දෑ රැගෙන ඉච්ඡානඞ්ගල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, උස් හඬ, මහ හඬ ඇතිව දොරටුවෙන් පිට පියස්ස යට සිටියාහුය.
ඒ කාලයෙහි ආයුෂ්මත් නාගිත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයා විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන්ට කථා කළ සේක: “නාගිතය, මසුන් අල්ලන කේවට්ටයින්ගේ වැනි ඒ උස් හඬ, මහ හඬ කුමක්දැ” යි.
“ස්වාමීනි, මේ ඉච්ඡානඞ්ගලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේටද, භික්‍ෂු සංඝයාටද, බොහෝ අනුභව කළ යුතු, බුදිය යුතු දේ රැගෙන දොරටුවෙන් පිට පියස්ස යට සිටියාහුය.”
“නාගිතය, යසස සමග මම එක්වීමක් නැත. මා සමග යසස එක්වන්නේත් නැත. නාගිතය, යම් කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සැපය, උසස් විවේක සැපය, සන්සුන් සැපය, නිවන් සැපය, පහසුවෙන් නොලබන්නේද, නිදුකින් නොලබන්නේද, මම ඒ යම් නෛෂ්ක්‍රම්‍ය සැපයක්, උසස් විවේක සැපයක්, සන්සුන් සැපයක්, නිවන් සැපයක් පහසුවෙන් ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. හෙතෙම ඒ (ලෝකයා විසින් දෙන) අපවිත්‍ර, නිදිබර ලාභ සත්කාර කීර්ති සැපය ඉවසන්නේය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසාවා, සුගතයන් වහන්සේ ඉවසාවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට දැන් පිළිගැනීමට කල්ය. යම් යම් තැනක දැන් භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ වේද, බමුණු ගෘහපතියෝද, නියම්ගම් දනවු වැස්සෝද ඊට නැමුනාහු වෙත්. ස්වාමීනි, යම් සේ ලොකු වැසි බින්දු ඇති වර්ෂාව වසින කල්හි බෑවුම අනුව ජලය යත්ද, ස්වාමීනි, එසේම යම් යම් තැනක දැන් භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ වේද, බමුණු ගෘහපතියෝද, නියම්ගම් දනවු වැස්සෝද ඊට නැමුනාහු වෙත්. ඊට හේතු කවරේද: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීල ප්‍රඥාව එබඳුය.”
“නාගිතය, යසස සමග මම එක්වීමක් නැත මා සමග යසස එක්වන්නෙත් නැත. නාගිතය, යම් කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සැපය, උසස් විවේක සැපය, සන්සුන් සැපය, නිවන් සැපය පහසුවෙන් නොලබන්නේද, දුකින් ලබන්නේද, මම ඒ යම් නෛෂ්ක්‍රම්‍ය සැපයක්, උසස් විවේක සැපයක්, සන්සුන් සැපයක්, නිවන් සැපයක් පහසුවෙන් ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. හෙතෙම ඒ (ලෝකය විසින් දෙන) අපවිත්‍ර, නිදිබර ලාභ සත්කාර කීර්ති සැපය ඉවසන්නේය.”