6. 1. 3. 3.
3. කාම භය සූත්රය
[සැවැත් නුවර දී ය]
23. “මහණෙනි, භය යනු කාමයන්ට මේ නමකි. මහණෙනි, දුක යනු කාමයන්ට නමකි. ලෙඩ යනු කාමයන්ට නමකි. ගඬ යනු කාමයන්ට නමකි. සඞ්ග යනු කාමයන්ට නමකි. (කෙලෙස්) මඬ යනු කාමයන්ට මේ නමකි.
“කවර හෙයින් කාමයන්ට භය යනු මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් භය යනු කාමයන්ට මේ නමෙකි. කවර හෙයින් කාමයන්ට දුක යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට ලෙඩ යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට ගඬ යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට සඞ්ග යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට මඬ යනු මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් මඩින් නොමිදෙයි. පරලොවත් මඩින් නොමිදේ. එහෙයින් මඬ යනු කාමයන්ට මේ නමෙකි.
“භයද, දුකද, ලෙඩද, ගඬද, සංගයද, මඬද යන මොහු පෘථජ්ජන සත්ත්වයා මෙහි කැමැති වන බැවින් කාමයෝ යයි කියනු ලැබෙත්.
“ඉපදීම හා මරණය පහළවන පස් උපාදානයෙහි භය දැක ඉපදීම හා මරණ ඇති සංස්කාරයන් නොගෙන විශේෂ ෂයෙන් මිදෙත්.
“නිර්භයට පත්, සැපවත්, මෙලොවදීම මනාව නිවී ගිය, සියලු වෛර හා භය ඉක්මවූ ඔහු සියලු දුකින් එතරව ගියාහුය.”
6. 1. 3. 4.
4. හිමවන්තපදාලන සූත්රය
[සැවැත් නුවර දී ය]
24. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්ෂුව හිමවත් පව්ව පළා ලන්නේ නම් ලාමකවූ මුලාව ගැන කවර කථාද ?
“කවර සයකින්ද යත් ?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම හිත එකඟයට සමවැදීමේ දක්ෂයෙක් වේද, සිත එකඟයෙහි සිටීමේ දක්ෂයෙක් වේද, සිත එකඟයෙන් නැග සිටීමේ දක්ෂයෙක් වේද, නීරෝගීතාවෙන් දක්ෂයෙක් වේද, අරමුණ ගැනීමෙහි දක්ෂයෙක් වේද, ඉදිරියට ගෙන ඒමෙහි දක්ෂයෙක් වේද,
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්ෂුව හිමවත් පව්ව පළා ලන්නේ නම් ලාමකවූ මුලාව ගැන කවර කථාද ?
6. 1. 3. 5.
5. ඡානුස්සතිඨාන සූත්රය
[සැවැත් නුවර දී ය]
25. “මහණෙනි, මේ (යමක්) සිහි කිරීමේ කරුණු සයක් වේ.
“කවර කරුණු සයක්ද යත් ?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය ශ්රාවක තෙමේ තථාගතයන් අනුස්මරණය කරයි: 'ඒ භගවත් තෙමේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්යක් සම්බුද්ධය, විද්යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්ය ඇත්තේය' යි.
“මහණෙනි, යම්විටක ආර්ය ශ්රාවක තෙමේ තථාගයන් අනුස්මරණය කෙරේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් නැගිටුණේ නොවේ. කෝපයෙන් නැගිටුණේ නොවේ. මෝහයෙන් නැගිටුනේ නොවේ. එසමයෙහි ඔහුගේ සිත කෙළින් සිටියේම වේ. (කාම ගුණයන්හි) ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. මහණෙනි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. මහණෙනි, මෙයම අරමුණුකොට මේ ලෝකයෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් පිරිසිදු වෙත්මය.
“මහණෙනි, නැවතද වනාහි ආර්ය ශ්රාවක තෙමේ ධර්මය අනුස්මරණය කරයි: 'භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේය' යි.
“මහණෙනි, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක තෙම ධර්මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. ... පස්කම් සැපට ගිජුකමින් නික්මුණේය. මිදුණේය. නැගී සිටියේය. මහණෙනි, ගෙධය යනු පස්කම් සැපට නමකි. මහණෙනි, මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු වෙත්.