6. 1. 3. 1.
1. සාමගාම සූත්‍රය
21. එක් සමයෙක භාග්‍යවත් තෙමේ ශාක්‍ය ජනපදයෙහි සාමගාම පොක්ඛරණියාවෙහි වෙසෙයි.
ඉක්බිත්තෙන් වනාහි එක්තරා දේවතා කෙනෙක් එළඹ සිටි රැයෙහි අභිරූප වර්‍ණ ඇත්තේ සියලු පොක්ඛරණියාව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:
“ස්වාමීනි, දැරීම් තුනක් මහණහුගේ පිරිහීමෙහි පවතී. ඒ තුන කවරේද යත් ?
කම්මාරාමතාව (කටයුතුවලට ඇලීම). හස්සාරාමතාව (කථා කරමින් ඉඳීමේ ඇල්ම), නිද්දාරාමතාව (නින්දටම ඇලීම) යි. ස්වාමීනි, මේ තුන් දැරීමම භික්‍ෂුවගේ පිරිහීමෙහි පවතීය” යි.
ඒ දෙවිතෙම මෙය කීය. ශාස්තෘතෙම එය මනාව අනුදත්සේක. ඉක්බිති ඒ දෙවිතෙම ශාස්තෘතෙමේ මට එකඟවීයයි භගවත්හු වැඳ, පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.
ඉක්බිති භගවත්තෙමේ ඒ රැය ගෙවී ගිය කල්හි භික්‍ෂූන් ඇමතීය. “මහණෙනි, මේ රැයෙහි එක්තරා දේවතාවෙක් එළඹ සිටි රැයෙහි අභිරූප වර්‍ණ ඇත්තේ සියළු පොක්ඛරණියාව බබුලුවා මම යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, මට වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම මට මෙය කීය.
‘ස්වාමීනි, දැරීම් තුනක් මහණහුගේ පිරිහීමෙහි පවතී. ඒ තුන කවරේද යත් ? කම්මාරාමතාව (කටයුතුවලට ඇලීම). හස්සාරාමතාව (කථා කරමින් ඉඳීමේ ඇල්ම), නිද්දාරාමතාව (නින්දටම ඇලීම) යි. ස්වාමීනි, මේ තුන් දැරීමම භික්‍ෂුවගේ පිරිහීමෙහි පවතීය” යි.
මහණෙනි, ඒ දේවතාවා මෙය කීවා ය. මෙය කියා මා වැඳ, පැදකුණු කොට එහි ම අතුරුදහන් වූවා ය.
“තොපට කුසල් දහම්වලින් පිරිහීම ඇති කල්හි යම් ඒ දේවතාවෝ දනිත්ද, ඒ තොපට මහණෙනි, (ඔවුහු) ලද නොහැක්කෝය. ලැබීමට දුෂ්කරයෝය.
“මහණෙනි, අනෙකුත් පිරිහෙන දරාගැනීම් තුනක් දෙසන්නෙමි. එය අසව්. හොඳින් සලකව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනි” යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පිරිහීමේ දරාගැනීම් තුන කෙසේද ? සංගණිකාරාමතාව (කාණ්ඩ ගැසීමේ ඇල්ම) යි, දොවචස්සතාව (නරක වචන ඇති බව) යි, පාපමිත්තතා (නරක යහළුවන් ආශ්‍රය) යි.
මේ වනාහි පිරිහීමේ දරාගැනීම් තුනයි.
“මහණෙනි, යම් කිසිවෙක් පෙර කල්හි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය. යම් කිසිවෙක් අනාගත කාලයෙහි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය. යම් කිසිවෙක් දැන් කාලයෙහි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය.
6. 1. 3. 2.
2. අපරිහානිය ධම්ම සූත්‍රය
[සැවැත් නුවර දී ය]
22. “මහණෙනි, මේ නොපිරිහෙන දැරීම් හය දෙසන්නෙමි.” “එසේය ස්වාමීනි’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, ඒ නොපිරිහෙන දහම් සය කවරේද?
කම්මාරාමතා (කටයුතුවලට ඇලුම්) නොවීමයි. හස්සාරාමතා (කථාවෙහි ඇලුනු බව) නෙවීමයි. නිද්දාරාමතා (නිදාගැනීමේ ඇලුම්) නොවීමයි. සංගණිකාරාමතා (කිණ්ඩ ගැසීමේ ඇලුම්) නොවීමයි. සොවචස්සතා (හොඳ වචන ඇති බව) යි. කල්‍යාණ මිත්තතා (යහපත් මිතුරන් ඇති බව) යි. මේ නොපිරිහෙන දැරීම් හයයි.
මහණෙනි, යම් කිසිවෙක් පෙර කල්හි කුසල් දහමින් නොපිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් නොපිරිහුණේමය. යම් කිසිවෙක් අනාගත කාලයෙහි කුසල් දහමින් නොපිරිහෙන්නාහුද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් නොපිරිහෙන්නාහුමය. යම් කිසිවෙක් දැන් කාලයෙහි කුසල් දහමින් නොපිරිහෙත්ද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් නොපිරිහෙත්මය.
6. 1. 3. 3.
3. කාම භය සූත්‍රය
[සැවැත් නුවර දී ය]
23. “මහණෙනි, භය යනු කාමයන්ට මේ නමකි. මහණෙනි, දුක යනු කාමයන්ට නමකි. ලෙඩ යනු කාමයන්ට නමකි. ගඬ යනු කාමයන්ට නමකි. සඞ්ග යනු කාමයන්ට නමකි. (කෙලෙස්) මඬ යනු කාමයන්ට මේ නමකි.
“කවර හෙයින් කාමයන්ට භය යනු මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් භය යනු කාමයන්ට මේ නමෙකි. කවර හෙයින් කාමයන්ට දුක යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට ලෙඩ යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට ගඬ යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට සඞ්ග යනු මේ නම්ද ? ... කවර හෙයින් කාමයන්ට මඬ යනු මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් මඩින් නොමිදෙයි. පරලොවත් මඩින් නොමිදේ. එහෙයින් මඬ යනු කාමයන්ට මේ නමෙකි.
“භයද, දුකද, ලෙඩද, ගඬද, සංගයද, මඬද යන මොහු පෘථජ්ජන සත්ත්‍වයා මෙහි කැමැති වන බැවින් කාමයෝ යයි කියනු ලැබෙත්.
“ඉපදීම හා මරණය පහළවන පස් උපාදානයෙහි භය දැක ඉපදීම හා මරණ ඇති සංස්කාරයන් නොගෙන විශේෂ ෂයෙන් මිදෙත්.
“නිර්භයට පත්, සැපවත්, මෙලොවදීම මනාව නිවී ගිය, සියලු වෛර හා භය ඉක්මවූ ඔහු සියලු දුකින් එතරව ගියාහුය.”