6. 1. 2. 9.
[පඨම මරණසති සූත්‍රය]
19. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක.
“මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි. “මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්.”
මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් මෙය කීයේය. “ස්වාමීනි, මම මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”
“ස්වාමීනි, මට මෙහි මෙසේ අදහස් වෙයි. ‘මමරෑ දාවල් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහි කරන්නෙම් නම් ඉතා යෙහෙක. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”.
අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”
“ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. ‘මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”.
අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”
“ස්වාමීනි, මට මේ අදහස වෙයි. ‘මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් ඒ අතර කාලයෙහි එක් පිණ්ඩාහාරයක් වළඳමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය. මම මෙසේ මරණ සතිය වඩමි.”
“අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”
“ස්වාමීනි, මට මේ අදහස වෙයි. ‘මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයක බත් පිඩු හතරක් පහක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය. යනුයි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.”
“අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”
“ස්වාමීනි, මට මේ අදහස වෙයි. ‘මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි එක බත් පිඩුවක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය. යනුයි.