6. 1. 2. 6.
6. සාපෙඛ නකුල පිතු සූත්‍රය
16. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය අසල මෘගදාය නම්වූ භෙසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නකුල පිතෘ ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩිසේ ගිලන්වූයේ වෙයි. ඉක්බිති නකුල මාතෘ ගෘහපතිනිය, නකුල පිතෘ ගෘහපතියාට මෙසේ කීවාය:
(1) “ගෘහපතිය, ඔබ (ලෞකික) බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය, දරුවන් පෝෂණය කරන්නට, ගෘහවාසයේ යෙදෙන්නට නොහැකි වන්නේය’ යනුවෙනි. ගෘහපතිය, ඒ කරුණ ගැන එසේ නොසිතිය යුතුය. ගෘහපතිය, මම කපු කටින්නටද, ගෙතූ හිසකේ අවුල් හරින්නටද දක්‍ෂ වෙමි. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කිරීමට, ගෘහවාසයේ යෙදෙන්නට හැකිවන්නෙමි. ගෘහපතිය, එබැවින් ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.
(2) ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය අනික් පුරුෂයෙකු පාවා ගන්නේය’ යනුවෙනි. ගෘහපතිය, එසේ නොසිතිය යුතුය. යම් කලෙක ඔබ දහසය වසක් ගෘහස්ථ බ්‍රහ්මචර්‍ය්‍යාව සමාදන්වන ලදී. එය ඔබද, මමද, දන්නෙමු. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.
(3) ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනියට භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සංඝයාද දැකීමට නොලැබෙන්නේය’ යනුයි. ගෘහපතිය, එසේ නොසිතිය යුතුයි. ඔබ ඇවෑමෙන් මම භාග්‍යවතුන් වහන්සේ අතිශයින් දකිනු කැමැත්තියක් වන්නෙමි. භික්‍ෂු සංඝයා අතිශයින් දකිනු කැමැත්තියක් වන්නෙමි. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.
(4) ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය සිල් පුරන්නියක් නොවන්නීය.’ යනුවෙනි. ගෘහපතිය, මෙසේ නොසිතිය යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ, ගිහිවු සුදු වස්ත්‍ර හඳින්නාවූ, සිල් පුරන්නාවූ, ශ්‍රාවිකාවෝ යම් තාක් ඇද්ද, මමද ඒ තැනැත්තියන්ගෙන් එක්තරා ශ්‍රාවිකාවක් වන්නෙමි. යමක වනාහි සැකයක් හෝ විමතියක් හෝ වනනේ නම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජානන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයේ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරාවා’. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.
(5) ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘නකුල මාතෘ ගෘහපතිනිය අධ්‍යාත්මික චිත්තසමථය ලබන්නියක් නොවන්නීය.’ යනුවෙනි. ගෘහපතිය, මෙසේ නොසිතිය යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ යම්තාක් ගිහිවූ, සුදු වස්ත්‍ර හඳින්නාවූ, අධ්‍යාත්මික චිත්ත සමථය ලැබුවාවූ ශ්‍රාවිකාවෝ වෙද්ද, මමද ඒ තැනැත්තියන්ගෙන් එක්තරා ශ්‍රාවිකාවක් වන්නෙමි. යමක වනාහි සැකයක් හෝ විමතියක් හෝ වනනේ නම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජානන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයේ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරාවා’. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.