6. 1. 2. 1.
1. සාරාණීයධම්ම සූත්රය
සැවැත් නුවර දී ය.
11. “මහණෙනි, මේ සිහි කටයුතු ධර්ම සයක් වෙත්. ඒ සය කවරහුද ?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට බ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද, මෛත්රී සහගත කාය කර්මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.
මහණෙනි, නැවතද භික්ෂුවට සබ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද, මෛත්රී සහගත වාක් කර්මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.
මහණෙනි, නැවතද භික්ෂුවට සබ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද, මෛත්රීන් සහගත මනස් කර්මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.
මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ ධාර්මිකවූ, දැහැමින් ලැබුනාවූ, යටත් පිරිසෙයින් පත්රයට ලැබුනාවූ පවා ලාභයෝ වෙද්ද, එබඳු ලාභයන් ශීලවන්තවූ සබ්රහ්මවාරීන් හා සමානව බෙදා පරිභෝග කරන්නේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.
මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ නොකැඩුනාවූ, නොසිදුරුවූ, කබර නොවූ, කැළැල්නොවූ, උසස්වූ, නුවණැත්තන් විසින් පසස්නාලද, තෘෂ්ණාදෘෂ්ටීන් හා පරාමර්ශනොවූ, සමාධිය ඇතිකරවන්නාවූ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් බ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද. සමාන සිල් ඇති බවට පැමිණියේ වාසය කෙරේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.
මහණෙනි, නැවතද මහණතෙම යම්බඳු දෘෂ්ටියක් එය කරන්නහුගේ මනාකොට දුක් දුරුකිරීම පිණිස පවතීද, නෛර්ය්යානිකවූ, ආර්ය්යවූ, එබඳුවූ ශීලයන්ගෙන් බ්රහ්මචාරීන් හා ප්රකටවද, අප්රකටවද, දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කෙරේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.”
“මහණෙනි, මේ සිහි කටයුතු ධර්ම සයක් වෙත්.
6. 1. 2. 2.
2. පියකරණධම්ම සූත්රය
සැවැත් නුවර දී ය.
12. “මහණෙනි, මේ ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්ම සයක් සංග්රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්. “ඒ සය කවරහුද ?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට ප්රකටවද, අප්රකටවද සබ්රහ්මචාරීන් කෙරෙහි මෛත්රී සහගත කාය කර්මය එළඹ සිටියේ වේද, මෙයද ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංග්රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවතද භික්ෂුවට සබ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද මෛත්රී සහගත වාක් කර්මය එළඹ සිටියේ වේද, මෙයද ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංග්රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවතද භික්ෂුවට සබ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද මෛත්රී සහගත මනස් කර්මය එළඹ සිටියේ වේද, මෙයද ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංග්රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලැබුණාවූ, යටත් පිරිසෙයින් පාත්රයට ලැබුනාවූ පවා ලාභයෝ වෙද්ද, එබඳුවූ ලාභයන් ශීලවන්තවූ සබ්රහ්මචාරීන් හා සමානව බෙදා පරිභෝග කරන්නේ වේද, මෙයද ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංග්රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ නොකැඩුනාවූ, නොසිදුරුවූ, කබර නොවූ, කැළැල් නොවූ, උසස්වූ, නුවණැත්තන් විසින් පසස්නාලද, තෘෂ්ණා දෘෂ්ටීන් හා පරාමර්ශ නොවූ, සමාධිය ඇතිකරවන්නාවූ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් සබ්රහ්මචාරීන් කෙරෙහි ප්රකටවද, අප්රකටවද. සමාන සිල් ඇති බවට පැමිණියේ වාසය කෙරේද, මෙයද ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංග්රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවතද මහණතෙම යම්බඳු දෘෂ්ටියක් එය කරන්නහුගේ මනාකොට දුක් දුරුකිරීම පිණිස පවතීද, නෛර්ය්යානිකවූ, ආර්ය්යවූ, එබඳුවූ ශීලයන්ගෙන් සබ්රහ්මචාරීන් හා ප්රකටවද, අප්රකටවද, දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කෙරේද, මෙයද ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්මයකි. මෙයද සංග්රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ප්රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්ම සයක් සංග්රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
6. 1. 2. 3.
3. නිස්සාරණීය ධාතු සූත්රය
සැවැත් නුවර දී ය.
13. “මහණෙනි, ඉවත් කළයුතු අදහස් හෙවත් කරුණු සයක් වෙති. “ඒ සය කවරහුද ?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය. ‘මවිසින් මෛත්රී චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ ව්යාපාදය සිත පැතිර සිටියි’ යනුවෙනි. එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය. ‘ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු මෛත්රී චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ ව්යාපාදය සිත පැතිර පවතීය යන කාරණය විද්යමාන නොවේ. යම් ඒ මෛත්රී චෙතො විමුක්තියක් ඇද්ද, ඇවැත්නි, එය ව්යාපාදය බැහැර කරණ තැනකි.