5. 5. 4. 5.
5. අනුකම්පකාවාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
35. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි. කවර පසකින්ද යත්?
පඤ්ච ශීලයන් සමාදන් කරවාද, චතුස්සත්‍ය ධර්‍ම දර්‍ශනයෙහි පිහිටුවාද, ගිලනුන් කරා එළඹ, ‘ආයුෂ්මත්නි, සුදුසු බවට ගියාවූ සිහිය එළවව්ය’ යි සිහිය උපදවාද, මහත්වූ භික්‍ෂු සංඝයා වනාහි පැමිණියේ වේද, නොයෙක් නොරට වැසි භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ‘ඇවැත්නි, මහා භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් වෙන රටවල වැසි භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කල් වේය’ යි සැළ කෙරේද, රූක්‍ෂවූ හෝ ප්‍රණිතවූ හෝ යම් භෝජනයක් වනාහි මොහුට දෙද්ද, එය තෙමේ වළඳාද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය ඉවත නොදමාද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.
5. 5. 4. 6.
6. යථාගතාවාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
36. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්?
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය ඉවත දමාද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
5. 5. 4. 7.
7. අවණ්ණභාසවාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
37. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ, ආවාසයෙහි බලවත් ගිජුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තේ වේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.