5. 5. 3. 8.
8. උස්සූරභත්ත සූත්රය
[සැවැත්නුවර නිදානයි]
28. “මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
යම් ඒ පිදිය යුතු ආගන්තුග කෙනෙක් වෙත්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. එක වේලේ බත් ඇත්තාවූ, රාත්රි භෝජනයෙන් වෙන්වූ, විකල් බොජුනෙන් වැළකුණාවූ යම් ඒ ශ්රමණ බ්රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි නොපුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ අසතුටු මුහුණින් කර්මාන්ත කරත්. එපමණකින්ම නුසුදුසු කාලයෙහි අනුභව කරණ ලදීද, ඕජාව පතුරුවන්ට නොහැකිවේ.
“මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
යම් ඒ පිදිය යුතු ආගන්තුගයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. එක වේලේ බත් ඇති, රාත්රි භෝජනයෙන් වැළකුණාවූ, විකල් බොජුනෙන් තොරවූ යම් මේ ශ්රමණ බ්රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ සතුටු මුහුණින් කර්මාන්ත කරත්. එතෙකින්ම සුදුසු කාලයෙහි අනුභව කරණ ලද්ද, ඕජාව පතුරුවන්ට හැකිවේ.
“මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 3. 9.
9. පඨම කණ්හසප්ප සූත්රය
[සැවැත්නුවර නිදානයි]
29. “මහණෙනි, කෘෂ්ණ සර්පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
අපවිත්රවේ. දුර්ගන්ධවේ. භය සහිත වේ හෙවත් නිද්රා සහිත වේ. ප්රතිභය සහිත වේ. මිත්ර ද්රෝහීවේ. මහණෙනි, කෘෂ්ණ සර්පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
අපවිත්රවේ. දුර්ගන්ධවේ. භය සහිත වේ හෙවත් නිද්රා සහිත වේ. ප්රතිභය සහිත වේ. මිත්ර ද්රෝහීවේ. මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
5. 5. 3. 10.
10. දුතිය කණ්හසප්ප සූත්රය
[සැවැත්නුවර නිදානයි]
30. “මහණෙනි, කෘෂ්ණ සර්පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්ර ද්රෝහී වේ.
“මහණෙනි, කෘෂ්ණ සර්පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්රිය කෙරෙහි දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්ර ද්රෝහී වේ.
“මහණෙනි, බොහෝ සෙයින් ස්ත්රිය තියුණුවූ රාග ඇති වේද, මහණෙනි, එහි මෙය ස්ත්රියගේ දරුණු විෂය වේ. මහණෙනි, බොහෝ සෙයින් සත්රිය කේලාම් කියන්නේ වේද, මහණෙනි, මෙය එහි ස්ත්රියගේ දිව් දෙකක් ඇති බව වේ. මහණෙනි, බොහෝ සෙයින් ස්වාමියා ඉක්මවා හැසිරෙන්නී වේද, මහණෙනි, මෙය ස්ත්රියගේ මිත්ර දොා්හී බව වේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
විසි තුන් වන දීඝචාරිකා වර්ගය නිමි.
එහි උද්දානය:
දීඝචාරික සූත්ර දෙකක් ද, අතිනිවාස සහ මච්ඡරිය සූත්ර ද, කුලූපග සූත්ර දෙකක් ද, භෝග සූත්රය ද, භත්ත සූත්රය ද, පසුව සප්ප සූත්ර දෙකක් දැයි මේ වග්ගයේ කියන ලදී.