5. 5. 2. 9.
9. අග්ග්යාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
19. “මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
ඇස්වලට හිත නොවේ. දුර්වර්ණ කරන්නේ වේ. දුර්වල කරන්නේ වේ. ගණසඞ්ගනිකාව (රැස්වීම) වඩන්නේ වෙයි. තිරිසන් කථා පවත්වන්නේ වෙයි.
“මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.
5. 5. 2. 10.
10. මධුරාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
20. “මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
විෂම වේ. බොහෝ රජස් ඇත්තී වේ. චණ්ඩ සුනඛයන් ඇත්තීය. වල් සතුන් ඇත්තීය. දුර්ලභ ආහාර ඇත්තීය.
“මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.
විසිදෙවැනි අක්කෝසක වර්ගය නිමි.
එහි උද්දානය:
අක්කෝස, භණ්ඩන, සීල, බහුභාණී, අක්ඛන්ති දෙකක් ද, අපාසාදික දෙකක් ද, අග්ගි සහ මධුරා යැයි මෙහි (සූත්ර දසයකි).
(23) 3. දීඝ චාරිකා වර්ගය
5. 5. 3. 1.
1. පඨම දීඝචාරිකා සූත්රය
[සැවැත්නුවර නිදානයි]
21. “මහණෙනි, අවස්ථාවට සුදුසු නොවූ දීර්ඝ චාරිකාවෙහි යුක්තව වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
නොඅසන ලද්ද නොඅසයි. අසනලද්ද පිරිසිදු නොකෙරෙයි. අසනලද ඇතමකින් විශාරද නොවෙයි. දැඩිවූ රෝගාබාධයක් ස්පර්ශ කරයි. මිත්රයන් ඇත්තෙක්ද නොවේ.
මහණෙනි, මොහු වනාහි දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුගේ දෝෂ පස වෙත්.
“මහණෙනි, නියමවූ හැසිරීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
නොඅසන ලද්ද අසයි. ඇසූ දෙය පිරිසිදු කරයි. අසන ලද සමහරකින් විශාරද වේ. දැඩිවූ රෝගාබාධය ස්පර්ශ නොකරයි. මිත්රයන් ඇත්තේද වෙයි.
මහණෙනි, මොහු වනාහි නියමවූ හැසිරීමෙහි අනුසස් පස වෙත්.
5. 5. 3. 2.
2. දුතිය දීඝචාරිකා සූත්රය
[සැවැත්නුවර නිදානයි]
22. “මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලබන ලද සමහරකින් නිර්භය නොවෙයි. දැඩිවූ රෝගාබාධ ස්පර්ශ කරයි. මිත්රයන් ඇත්තේද නොවේ.
“මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
නොලබන ලද්ද ලබයි. ලබන ලද්ද නොපිරිහෙයි. ලබන ලද සමහරකින් නිර්භය වේ. දැඩිවූ රෝගාබාධ ස්පර්ශ නොකරයි. මිත්රයන් ඇත්තේද වෙයි.
“මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්.