2. අක්කොසක වර්ගය
5. 5. 2. 1.
1. අක්කොසක සූත්රය
සැවැත්නුවර නිදාන යි.
11. “මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම බ්රහ්මචාරීන්ට නින්දා පරිභව කරන්නේ, ආර්ය්යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය. කවර පසක්ද යත්:
සිඳින ලද ලෝකෝත්තර මාර්ග ඇති පාරාජිකාවට පැමිණියෙක් හෝ වේ. එක්තරා ඉතා කිළුටු ඇවතකට හෝ පැමිණෙයි. දැඩිවූ බලවත් ව්යාධියක් හෝ ස්පර්ශ කරයි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම බ්රහ්මචාරීන්ට නින්දා පරිභව කරන්නේ, ආර්ය්යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.
5. 5. 2. 2.
2. භණ්ඩනකාරක සූත්රය
සැවැත්නුවර නිදාන යි.
12. “මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම දබර කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්ධ වාද කරන්නෙක්. විරුද්ධ කථාබස් කරන්නෙක්, සංඝයා කෙරෙහි අධිකරණ කරන්නෙක් වේද, ඔහුට දෝෂ පසක් කැමතිවිය යුතුයි. කවර පසක්ද යත්:
නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම දබර කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්ධ වාද කරන්නෙක්. විරුද්ධ කථාබස් කරන්නෙක්, සංඝයා කෙරෙහි අධිකරණ කරන්නෙක් වේද, ඔහුට දෝෂ පසක් කැමතිවිය යුතුයි.
5. 5. 2. 3.
3. සීලවිපත්යාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
13. “මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ප්රමාදය හේතු කොට ගෙණ මහත්වූ සම්පත් පිරිහීමට පැමිණේ. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පළමුවන දෝෂය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෙවන දෝෂය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ක්ෂත්රිය පිරිසකට හෝ බ්රාහ්මණ පිරිසකට හෝ ගාහපති පිරිසකට හෝ ශ්රමණ පිරිසකට හෝ යම් යම්ම පිරිසකට පැමිණේද, විශාරද නොව මතුවූයේ පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්ති යෙහි මේ තුන්වන දෝෂය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙම ඉතා මුළාවූයේ කළුරිය කරයි. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ සතරවන දෝෂය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදී. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පස්වන දෝෂය වේ.
“මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි සීලයෙන් යුක්තවූ සිල්වත් තෙම අප්රමාදය හේතුකොට ගෙණ මහත්වූ සම්පත් රාශියට පැමිණේ. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පළමුවන ආනිශංසය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත්හුගේ යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ දෙවන ආනිශංසය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ ක්ෂත්රිය පිරිසකට හෝ, බ්රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ, ශ්රමණ පිරිසකට හෝ, යම් යම්ම පිරිසකට පැමිණියේද, නිර්භයව, මකුනොවී පැමිණෙයි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ තුන්වෙනි ආනිශංසය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ මුළානොවූයේ කළුරිය කරයි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ සතරවන ආනිශංසය වේ.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්ය ලෝකයෙහි උපදී. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පස්වන ආනිශංසය වේ.
“මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 2. 4.
4. බහුභාණ්යාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
14. “මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
බොරු කියයි. කේලාම් කියයි. ඵරුෂ වචන කියයි. හිස් වචන කියයි. ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්: